අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (17) සංවිධානය කර තිබූ විරෝධතා පාගමන තහනම් කරමි​න් මාළිකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ විරෝධතාවය හේතුවෙන් මහජන පීඩාවක් ඇති වියහැකි බවට මරදාන පොලිස් ස්ථාන මඟින් සිදුකරන ලද කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමේන් අනතුරුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ නියෝගය නිකුත්කර තිබිණි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි,  මැදිරිගිරියේ ඉස්සරධම්ම හිමි, තිස්සපුර සිරි සුමේධ හිමි, අබ්දුල්ලා මොහොමඩ් රිෆාත්, මධුසංඛ චන්ද්‍රසිරි, මදුරංග ජයසිංහ, නිසල දමිත් සහ ශලින්ද මිෂාන් සමරසිංහ යන වගඋත්තරකරුවන් 9 දෙනෙකු වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව අද දින පස්වරු 2 සිට කුරුඳුවත්ත විහාර මහාදේවී උද්‍යානය අසලින් විරෝධතාවය ආරම්භ කර ලිප්ටන් වටරවුම දක්වා පාගමනින් ගමන් කිරීමට හෝ සිනේසිටි සිනමා ශාලාව අසලින් විරෝධතාවය ආරම්භ කර කොටුව දුම්රිය පොළ දක්වා පාගමනින් ගමන් කිරීමට අදහස් කර ඇති බැවින් හටගන්නා පීඩාකාරී තත්ත්වය මඟ හැරීම සඳහා මෙම අධිකරණ බලසීමාවට අයත් කුලරත්න මාවත (මරදාන පාර), ඔරාඹිපාෂා මාවත, සංඝරාජ මාවත, ඩීන්ස් පාර (පූජ්‍ය බද්දේගම විමලවංශ හිමි මාවත) ඩාලි පාර (ටී.බී ජයා මාවත) හා රෝහල් චතුරස්‍ර තුළ හා පිටත මාර්ගවල පදික වේදිකා භාවිත කළ නොහැකි බවටත් අධිකරණය දැනුම්දී  ඇත.

ඒ අනුව අද උදෑසන 11 සිට හෙට උදෑසන 11 දක්වා පැය 24ක කාලයක් තුළ ඉහ​ත වගඋත්තරකරුවන් විසින් සංවිධානය කර ඇති උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් මේ නියෝගය ක්‍රියාත්මක වෙනවා.