ජාතික ජන බලවේගයට සියයට 50 ක ජනතා වරමක් තිබෙන බවට සඳහන් සමීක්ෂණ වාර්තාව පිළිබඳව විශ්වවිද්‍යාල මහාචාර්යවරු සහ ආචාර්යවරු තොරතුරු සොයාබලමින් සිටින බවත් එම සමීක්ෂණයේ බොරුව පිළිබඳව සමීක්ෂණ පිළිබඳ විශේෂඥයින් ළඟදීම හෙළි කිරිමට නියමිත බවත් එම සමීක්ෂණ වාර්තාවෙන් ඉන්දියාවත් නොමග යවා තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

අද (08) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ පිළිබඳව සඳහන් කර ඇත.

එහිදි ඔහු අදහස් දක්වමින් කියා සිටියේ,
” ජාතික ජන බලවේගයට සියයට 50 ක ජන මතයක් තිබෙන බවට සඳහන් වන සමික්ෂණ වාර්තාවක් එළිදක්වලා තිබෙනවා. එයින් ඉන්දියාවත් නොමග යවලා තිබෙනවා. ද හින්දු පුවත් පත වගේ පුවත් පතක මෙවැනි දෙයක් පළ කරන්න තරම් බොරුවක් ඔවුන් ගුවන් ගතකරලා තිබෙනවා. මේ සමික්ෂණයට භාජනය කරලා තිබෙන්නේ පුද්ගලයින් 522 යි. පුද්ගලයින් 522 කින් ඉදිරිපත් කළ සමික්ෂණයක් තමයි ඉදිරිපත් කරලා තිබෙන්නේ. විද්‍යාත්මක සමික්ෂණයක තිබිය යුතු ලක්ෂණ , තෝරා ගතයුතු නියැදි , යොදා ගන්න ප්‍රශ්න විද්‍යාත්මක විය යුතුයි. මේ පුදගලයින් 522 තෝරා ගත්තේ කොහොමද , මොන ප්‍රදේශවලින්ද. මෙහි විද්‍යාත්මක ක්‍රමය කුමක්ද ?සමික්ෂණයට භාජනය කරන්න තෝරාගත් පුද්ගලයින් 522 නියැදිය කුමක්ද? ඔවුන්ගේ වෘත්තින් , ග්‍රාමිය ද , නාගරික ද , වයස් කාණ්ඩය , ස්ත්‍රී පුරුෂ භාවය මේ 522 ට ඇතුළත් වෙලා තිබෙනවද කියන කාරණය සොයන්න ඕන. මේ සමික්ෂණය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරු අවශ්‍ය තොරතුරු සොයාබලමින් සිටිනවා. මේ සමීක්ෂණයේ බොරුව පිළිබඳව සමීක්ෂණ පිළිබඳ විශේෂඥයින් විසින් හෙළි කරන්න නියමිතයි. මේවා බාල උත්සාහයන්.” බවයි.