අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 03ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙන දැවී පළමු ඉනිම සඳහා ලකුණු 263ක් රැස් කළේය.

එහිදී මිචෙල් මාෂ් ලකුණු 118ක් ලබාගත් අතර, එංගලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී මාක් වුඩ් කඩුලු 05ක් බිඳ හෙළීය.

අනතුරුව සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 237ක් පමණි. එහිදී බෙන් ස්ටෝක් ලකුණු 80ක් රැස් කළ අතර, ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පැට් කමිංස් කඩුලු 06ක් දවා ගත්තේය.

එංගලන්ත ප්‍රථම ඉනිමට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරමූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 224ක් පමණි.එහිදී ට්‍රවීස් හෙඩ් ලකුණු 77ක් රැස් කළ අතර, ස්ටුවඩ් බ්‍රෝඩ් සහ ක්‍රිස් වෝර්ක් කඩුලු 03 බැගින් දවාගත්හ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 254ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම කඩුලු 07ක් පමණක් දැවි එම ඉලක්කය පසුකර ගියේය. එහිදී හැරි බෲක් ලකුණු 75ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී මිචෙල් ස්ටාර්ක් කඩුලු 05ක් බිඳ හෙළීය.

ඒ අනුව තරග පහකින් සමන්විතව තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණේ පසුවන්නේ ඔස්ට්‍රේලියානු කණ්‍‍ඩායමයි.