එළැඹෙන දින 14 ක් තුළ බිත්තර මිල ප්‍රදර්ශණය නොකර ඇත්නම් අදාළ ප්‍රදේශය බාරව සිටින පාරිභෝගික කටයුතු පිළිබද නිළධාරීන් හා අදාළ වෙළෙඳසැල් හිමිකරුවන් ඒ සම්බන්ධයෙන් වගකීම භාරගත යුතු බවත්, ඒ අනුව අවශ්‍ය නීතිමය ඉදිරි පියවර ගන්නා බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසා ඇත.

එමෙන්ම අද සිට බිත්තරයක් රුපියල් 35 කට ලංකා සතොසෙන් ලබා දෙන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

වෙළෙඳසැල් වල භාණ්ඩ මිල දර්ශක හා පුවරු ප්‍රදර්ශනය නිසි ලෙස සිදුවනවාද, පාරිභෝගිකයන්හට නිසි ප්‍රමිතියකින් යුතු භාණ්ඩ හා සේවා ලැබෙනවාද යන්න සොයා බැලීම සම්බන්ධයෙන් වැලිසර හා නාරාහේන් පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයන්හි නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින අමාත්‍යවරයා (25) මෙසේ ප්‍රකාශ කර තිබේ.

කුකුළු කෑම ලෙස භාවිතා කරන බඩ ඉරිඟු වල මිල සැළකිය යුතු අන්දමින් පහළ ගොස් තිබියදීත්, ඊටත් වඩා අඩු මුදලට සත්ත්ව ආහාර සඳහා සහල් භාවිතා කරමින් පවතින බැවින් පවතින මිලට වඩා පාරිභෝගිකයාට සහනමිලකට බිත්තර සැපයීමට දේශීය බිත්තර නිෂ්පාදකයින්ට හැකියාවක් පවතින බවත් ඔහු මෙහිදී සඳහන් කර ඇත.

රට තුළ භාණ්ඩ නිෂ්පාදනය ඉහළ නැංවීම තුළින් දේශීය නිෂ්පාදකයා රැකගැනීම රජයේ ප්‍රතිපත්තිය බවත්, මේ මොහොතේ වෙළෙඳ පොලේ පවතින බිත්තර හිඟය හේතුවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම බිත්තර ආනයනය කිරීමේ අරමුණ බවද අමාත්‍යවරයා සදහන් කරන ලදී.

ඒ අනුව ඊයේ ( 24 ) වනදා දිනයේ ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දේශීය බිත්තර නිෂ්පාදන නඟා සිටුවීම සඳහා විශේෂ සාකච්ඡාවක්
පැවැත්වූ බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.

වෙළෙදුන් භාණ්ඩ ලබා ගත් මිල හා විකුණන ලබන මිල අතර පරස්පරයක් පවතින බව පෙනී යන බැවින් ඉන් පාරිභෝගිකයා අපහසුතාවයට පත් වීම වැළැක්වීම මෙම වැඩපිළිවෙලේ ප්‍රධාන අරමුණ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.

එලෙස නිසි ලෙස භාණ්ඩ මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල් හරහා පමණක් භාණ්ඩ මිලට ගැනීමට පාරිභෝගිකයාට වගකීමක් පවතින බවද ඔහි මෙහිදී සඳහන් කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය හෝ සිය අමාත්‍යාංශය යටතේ පවතින වෙනත් ඕනෑම ආයතනයක් දුෂිත අන්දමින් කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අදාළ නිසි පියවර ගන්නා බවත්, හෙතෙම පවසා ඇත.

ලීට්‍රෝ හා ලාෆ් ගෑස් මිල ගණන් අතර පවතින මිල වෙනස නැති කිරීම සඳහා, මුදල් අමාත්‍යාංශයෙන් සකස් කර ඇති මිල සූත්‍රයට ලාෆ් සමාගමද ඇතුළත් කළ යුතු බව සඳහන් කළ බව ද, නුදුරේදීම ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමින් අමාත්‍යවරයා සඳහන් ඇත.