වසර 100කටත් වඩා පැරණි ඉන්දියානු සිනමා කර්මාන්තයට අමතක කළ නොහැකි මාසයක් බවට 2023 අගෝස්තු මාසය පත් වී තිබෙනවා. අපූරු චිත්‍රපට කිහිපයක්ම මෙම මාසය තුළ තිරගත වීම ආරම්භ කළා පමණක් නොවෙයි, එම චිත්‍රපට බොහොමයක් ආදායම් ඉපයීම අතින් ද අති සාර්ථක වුණා. අගෝස්තු 12-13 සති අන්තය, එතෙක් මෙතෙක් ඉන්දියානු සිනමාවේ අළුතින් ප්‍රදර්ශනය ආරම්භ කළ චිත්‍රපට එක්ව සති අන්තයක් තුළ ලබා ගත් වැඩිම බොක්ස් ඔෆීස් ආදායම වාර්තා කිරීමට සමත් වී තිබුණා. එය ඉන්දියානු රුපියල් කෝටි 390 ඉක්මවා තිබූ අතර, Jailer (දමිළ), Gadar 2 (හින්දි) Bhola Shankar (තෙලිඟු) සහ OMG 2 (හින්දි) එම චිත්‍රපට වුණා.

ආදායම් ඉපයීමේ වේගවත් බවක් දක්නට නොලැබුණත්, මෙම සියළුම චිත්‍රපට අතරින් ඉහළම විචාරක ඇගයීම හිමිව තිබුණේ OMG 2 චිත්‍රපටයටයි. OMG 2 චිත්‍රපටය නිර්මාණය වන්නේ 2012 වසරේ තිරගත වූ “Oh My God” චිත්‍රපටයේ දෙවන දිගහැරුම ලෙසයි. සාමාන්‍යයෙන් නිර්මාණයක දෙවැනි කොටස එහි පළමු නිර්මාණය ඉක්මවා යන අවස්ථා බොහෝ විරලයි. නමුත්, OMG 2 චිත්‍රපටය එහි පළමු වැන්නට වඩා පියවර ගණනක් ඉදිරියෙන් සිටින බව අවිවාදයෙන් පිළිගන්නට සිදු වනවා. චිත්‍රපටයේ අන්තර්ගතය, ඉන් සමාජයට ලබා දෙන පණිවුඩය සහ නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කර තිබූ සුනම්‍ය ආකාරයත් අගය කළ යුතුයි. අදටත් ආසියාතික රටවල් ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නට මැළිවන “පාසල තුළ ලිංගික අධ්‍යාපනය” යන මාතෘකාව චිත්‍රපටය තුළ සාකච්ඡා කෙරෙන්නේ ඊට එරෙහිවන සම්ප්‍රදායයන්, ඇදහිලි හා විශ්වාසයන් නිර්දය ලෙස විවේචනය කරමින් නොවීම අගය කළ යුතු වනවා. අනේක විධ සම්ප්‍රදායයන්, ආගම්, ඇදහිලි හා විශ්වාස කරපින්නාගත් ඉන්දියානු ප්‍රජාව තම විශ්වාසයන්ට එරෙහි වන ඕනෑම නිර්මාණයකට එරෙහිව අවි අමෝරන්නට පසුබට නොවන පිරිසක්. කෙතරම් විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් වුවත් අළු දුහුවිලි කර දැමීමට ඔවුන් දෙවරක් සිතන්නේ නැහැ. එවැනි චිත්‍රපටවල නිර්මාණකරුවන්ට සිදුවන්නේ අතොරක් නැති ප්‍රශ්න වලට මුහුණ දිමටයි. ඇතැම්විට අධිකරණය හමුවේ පෙනී සිටින්නටත්, මතුවන විරෝධයන් හමුවේ අවසානයේ ප්‍රදර්ශනය නවතා දැමීමටත් ඔවුන්ට සිදු වනවා. මෙම වසරේ දී තිරගත වූ Adipurush, Kerala story, Lust Stories වැනි චිත්‍රපට වලට පවා දැඩි විරෝධතා එල්ලවූ පසුබිමක, OMG 2 චිත්‍රපටයට එවැනි ගැටළුවකට මුහුණ දෙන්නට සිදු නොවීමෙන්ම, කෙතරම් සුමටව එම නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත ගෙන ගොස් තිබෙනවාද යන්න පැහැදිලි වනවා.

එවැනි විශිෂ්ඨ නිර්මාණයක් වූ OMG 2 තිරගත කිරීම ආරම්භ කරන්නේ, 2001 වසරේදී බොක්ස් ඔෆීස් වාර්තා රැසක් පිහිටුවීමට සමත් වූ Gadar චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම වන Gadar 2 තිරගත කිරීම ඇරඹූ අගෝස්තු 11 දිනයේමයි. ඊට පෙර දිනයේ තිරගත කිරීම අරඹා තිබූ සුපිරි කොලිවුඩ් නළු රජිනි කාන්ත් රඟන Jailer ද තිරගත වෙමින් තිබුණේ සිනමාශාලා රසිකයින්ගෙන් පිරී ඉතිරී යන පසුබිමක වීමත් OMG 2 කෙරෙහි රසික අවධානය අඩුවීමට හේතු වුණා. පළමු චිත්‍රපටයේ නළු නිලි පිරිසම රංගනයේ යෙදන Gadar 2 චිත්‍රපටය එතෙකින් නොනැවතී, පළමු චිත්‍රපටයේ ඇතුළත්ව තිබූ ගීත ද්විත්වයක් ද නැවත නිර්මාණය කරමින් සාර්ථක ලෙස රසිකයාගේ අතීතකාමය (Nostalgia) අවුස්සා, දේශානුරාගය වඩවන ආකාරයේ දෙබස් සහ දර්ශන භාවිත කරමින් සාම්ප්‍රදායික ඉන්දියානු රසිකයා සිනමා ශාලා වෙත අද්දවා ගැනීමට සමත් වු අතර, එය දිනකදී ලැබූ වැඩිම ආදායම වන කෝටි 55.50 ඉන්දියානු නිදහස් දිනයේදී (තිරගත වීමෙන් 5වන දින) ලැබීමෙන්ම ඒ බව පැහැදිලි වනවා. ඒ හැර Gadar 2හි විශේෂ නිර්මාණාත්මක බවක් හෝ නැවුම් බවක් දකින්නට නොලැබෙන බව පිළිගන්නට සිදු වනවා. අඩුම තරමේ කුතුහලය දනවන ප්‍රබල හැරවුම් අවස්ථා (Twists) හෝ චිත්‍රපටයේ අඩංගුවන්නේ නැහැ. නමුත්. කිසිඳු භේදයකින් තොරව ඔල්වරසන් දෙමින් නැරඹිය හැකි ආකාරයේ (Mass Entertainer) එකක් වීමට Gadar 2 සමත් වී ඇත්තේ Jailer චිත්‍රපටය හා කරට කර සිටිමින්. ඉන්දියානු රුපියල් කෝටි 250කට ආසන්න මුදලක් වැය කර නිර්මාණය කරන ලද Jailer චිත්‍රපටයෙන් කොලිවුඩ් සුපිරි තරුව රජිනි කාන්ත් සමඟ මලයාලම් සිනමාවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන මෝහන් ලාල් සහ සුපිරි බොලිවුඩ් නළු ජැකී ශ්රොෆ් ඇතුළුව ජනප්‍රිය නිළු නිලියන් රැසක් රංගනයෙන් දායක වන්නේ සෑම ඉන්දියානු රසිකයෙකුහටම සිනමා ශාලාවට එන්නැයි බල කරමින්. 2.0 චිත්‍රපටයට පසු රුපියල් කෝටි 500 ඉක්ම වූ රජිනි කාන්ත්ගේ එකම චිත්‍රපටය වන Jailer මේ වනවිට ඉන්දියානු රුපියල් කෝටි 550ක් ඉක්මවූ වාර්තාගත ආදායමක් උපයා ඇති අතර, ඊට අභියෝගයක් වෙමින් Gadar 2 චිත්‍රපටයේ සමස්ත ආදායම ද ඉන්දියානු රුපියල් කෝටි 500 ඉක්මවා යාමට සමත් වී තිබෙනවා.

කෙතරම් උසස් නිර්මාණය වුවත්, ආගමික හා සංස්කෘතික විශ්වාසයන් සමඟ සෘජුව ගැටීම සහ පාසල් තුළ ලිංගික අධ්‍යාපනය ලබා දීමේ අවශ්‍යතාවය වැනි සංවේදී කාරණා හේතුවෙන් OMG 2 චිත්‍රපටය මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට පෙර එහි සංස්කරණ 20කට අධික ප්‍රමාණයක් සිදු කරන ලෙසයි, ඉන්දියානු මධ්‍යම චිත්‍රපට සහතික කිරීමේ මණ්ඩලය (CBFC) නියම කර තිබුණේ. එපමණක් නොවේ, සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් විසින් නිරූපණය කරන “ශිව දෙවියන්ගේ” චරිතය “දෙවියන්ගේ පණිවුඩකරුවා” (Messenger of God) ලෙස සංශෝධනය කිරීමටත්, එම සංස්කරණයන්ගෙන් පසු චිත්‍රපටය වයස අවුරුදු 12ට වැඩි ළමුන් සඳහා දෙමාපිය මඟ පෙන්වීම මත පමණක් නැරඹීමට සුදුසු චිත්‍රපටයක් ලෙස තිරගත කිරීමටත් නිර්දේශ කර තිබුණා. නමුත් එමගින් චිත්‍රපටයේ අන්තර්ගතයට සිදු වන හානිය නිසා ඉන් සමාජයට ලබා දීමට බලාපොරොත්තුවන පණිවුඩය නිසි ලෙස ලබා දීමට නොහැකි වීම හේතුවෙන් නිශ්පාදකයින් එයට එකඟ නොවූ අතර, සුළු සංස්කරණ 25කට පමණ යටත්ව “වැඩිහිටියන්ට පමණක් සුදුසු” චිත්‍රපටයක් ලෙසයි OMG 2 සඳහා ප්‍රදර්ශනයට අනුමැතිය හිමිවන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 50ක් වැනි පිරිවැයකින් නිෂ්පාදනය කර ඇති  OMG 2 චිත්‍රපටය Jailer හා Gadar 2 යන දැවැන්ත නිෂ්පාදනයන් හමුවේ අසාර්ථක වනු ඇති බවට මත පළ වුවත්, “වැඩිහිටියන්ට පමණයි” ලේබලය යටතේ පවා මේ ආකාරයන් සාර්ථක වීමට, එහි කතා තේමාවේ ඇති ප්‍රබලත්වයත්, එය රසිකයා වෙත ඉදිරිපත්කර ඇති ආකාරයත් මෙන්ම පංකජ් ත්‍රිපාටි සහ යාමි ගෞතම්ගේ අති දක්ෂ රංගනයත් බලපා ඇති ඇති බවට විවාදයක් නැහැ. OMG 2 හි ආදායම මේ වන විටත් ඉන්දියානු රුපියල් කෝටි 150 ඉක්මවා ගොස් අවසන් නමුත්, පෙර කී දැවැන්ත චිත්‍රපට සමඟ නිකුත් නොවූවා නම් මීට වඩා ඉහළ සාර්ථකත්වයක් ලබා ගන්නට එයට හැකි වනවා මෙන්ම, සමාජය තුළ ප්‍රබල කතිකාවතක් ගොඩනගන්නටද සමත් වනවා නොඅනුමානයි.

උසස් විචාරක ඇගයීම් හිමිකරගනිමින් තිරගත වන OMG 2 චිත්‍රපටය මෙම වසරේ තිරගත වූ සියළු හින්දි චිත්‍රපට අභිබවා IMDb දර්ශකයේ 8.3ක ඉතා ඉහළ අගයක් සටහන් කර ඇති අතර, Rotten tomatoes හි ද 83%ක ප්‍රතිචාරයක් හිමිකරගෙන තිබෙනවා. ඇත්තෙන්ම OMG 2 කියන්නේ එතරම්ම අපූරු, නිතර රසවිඳින්නට නොලැබෙන ආකාරයේ චිත්‍රපටයක්. උතුරින් සහ දකුණින් ක්‍රියාත්මක වන Gadar 2  හා Jailer බොක්ස් ඔෆිස් සුනාමිය නිසාවෙන්ම OMG 2 සිනමා හලක නරඹන්නට ඔබත් දෙගිඩියාවකින් පසුවූවා නම්, එම අවස්ථාව උදා කරගන්නට දෙවරක් නොසිතිය යුතු බවයි අපගේ හැඟීම.

උමේෂ් ද සිල්වා