උතුරු නැගෙනහිර පළාත් බෞද්ධකරණය වහාම නතර කරන ලෙසට ආණ්ඩුවවට බල කර සිටින්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාලේ මහතාගෙන් ඉල්ලීමක් කර  තිබේ.

මෙම ඉල්ලීම හෙට (09) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේද තබන බව සම්බන්දන් මහතා සදහන් කර ඇත.

සම්බන්දන් මහතා ඉකුත්දා (05) මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාව කොළඹදි හමුවී ඇති අතර මෙම හමුව පිළිබඳව කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා තිබේ.

මෙම හමුව පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා ඇති ඒ මහතා මෙසේ ද කියා ඇත.

‘යාපනය තෙයිට්ටි ප්‍රදේශයේ ජනතාවගේ පෞද්ගලික ඉඩම් වල බලහත්කාරයෙන් චෛත්‍යයක් ඉදි කිරීම අපි දැඩිව හෙළා දකිනවා. මෙවැනි නීති විරෝධි සිදුවීම් උතුරු නැගෙනහිර පළාත් වල දිගින් දිගටම සිදු වෙනවා. එම ප්‍රදේශ වල නීති විරෝධි බෞද්ධ සිද්ධස්ථාන ඉදි කරමින් තිබෙන අතර තවත් තැන් වල හින්දු ආගමික සිද්ධස්ථාන කඩා බිද දමා විනාශ කරමින් තිබෙනවා. මෙවැනි සිදුවීම් වැළැක්වීමට අප උපරිම උත්සහා දරා තිබෙනවා. ඉදිරියේදිත් උත්සහා දරනු ලබනවා.

මෙවැනි ගැටලු ප්‍රශ්න වලට ස්ථීර විසදුමක් ලැබෙන්නේ සාධාරණ හා නිවැරදි විසදුමක් සහිත බලය බෙදා හැරීමක් දෙමළ ජනතාවට ලැබෙන්නේ නම් පමණයි. ඒ වෙනුවෙන් වන සියලු සහයෝගයන් ලබාදීමට අප සුදානම්. එමෙන්ම ජනවාර්ගික ගැටලුවට නුදුරේදීම විසදුමක් ලබා ගත යුතුම වෙනවා. මේ රට දියුණු වීමට නම් ජනවාර්ගික ගැටලුවට විසදුමක් ලැබීම අනිවාර්ථය වෙනවා. අපගේ මෙම ඉල්ලීම ජනාධිපතිවරයා වෙතත් ඉදිරිපත් කරනු ලබනවා. ඉකුත්දා මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා මාව හමුවුණා. එහිදීත් මෙම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා. තවද අනෙකුත් ජාත්‍යන්තර රටවල් සමගත් අප මෙම කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනවා’

රාජිනි මෙන්ඩිස්