හැම ගැහැණියකටම තමන්ගේම වූ විජිතයක් තිබෙනවා.අන්න ඒ විජිතයේ රැජිනක් බවට පත් වීම බොහෝ ගැහැණුන්ගේ චිරාගත ප්‍රාර්ථනාවක්.එය කිසිසේත්ම උන්නතිකාමයේ කසලින් කිලිටි වී නැහැ.එය හුදු ආලයම පරමාර්ථ කොටගෙන උපදින පාරමිතාවක්.යුවතියක් රැජිනක් බවට අබිසෙස් ගන්වන මෙෘලී මංගල්‍යයට තමයි අපි විවාහය කියන්නෙ.ඇය සිය විජිතය සොයා යෑමේ සමාරම්භය සනිටුහන් කරන්නෙ එතැනින්.ඒ සාඩම්බර මොහොත රචකයා චිත්‍රණය කරන්නෙ ප්‍රශංසනීය සාහිත්‍ය පරිචයකින් යුතුව.(සිය කුළුදුල් පද රචනයේ දී ම එවැනි පරිචයක් පෙන්වීම මොනතරම් සුබ ලකුණක් ද?)

සලෙළු වරමින් සරන පුරයේ
ඇස ගැටුණු පෙම්බරිය මා
අග මෙහෙසි සිහිනයක පැටලී
ඇතු පිටින් රජ ගෙදර ආ

ආලයේ පරිධියට අයත් අංශු මාත්‍රයක දෙයක්වත් වෙනත් ගැහැණියක් හා බෙදා හදා ගන්න නූතන පවුල් සංස්ථාව ඇතුලෙ නම් ගැහැනියක් කිසිසේත්ම සූදානම් නැහැ.එහෙත් විජිතයකට ඇතුළු වෙන රැජිනියකගේ ඉරණම ඊට වෙනස්.විජිතයක් නම් අන්ත:පුරයක පැවැත්ම නියතියක්.ඒ යථාර්තය දරාගන්න රැජිනකට සිද්ධ වෙනවා.සිය වල්ලභයාගේ කායික ආලය තවත් ගැහැණුන් සිය ගණනකගේ ද උරුමයක් බව අවබෝධ කර ගත් විට,එවැන්නියකගේ මානසික ස්වභාවය මොන වගේ වෙන්න පුලුවන් ද කියලා තේරුම් ගන්න මේ යුගයේ ජීවත් වන අපට බැහැ.මොකද,මේ අන්ත:පුරය කියන සංකල්පයම ඉපැරණි රාජාණ්ඩු සමයට අයත් වූවක් නිසා.

නොතේරුම් ගැනීමේ මේ වියවුලම අපේ යුගයේ සාහිත්‍යකරුවන්ට වාසියක්.රිසි රිසි පරිකල්පනයන් පුබුදු කර ගැනීමේ වරප්‍රසාදය ඒ තුළ තිබෙනවා.වඩා සාධාරණ පරිකල්පනය තමයි,කායික ආලය එයාකාරයෙන් බෙදා හදා ගන්නට සිදුවීම, එසමයේ වැඩි ලිංගික මාත්සර්යයකින් තොරවම සිද්ධ වෙන්න ඇති කියන එක.අඩුම ගානේ මේ බෙදා හදා ගැනීම ස්වභාවිකයි වගේ දැනෙන්න ඇති.

කොකුම් අංජන තිලක තවරා
හැමදාම මං බලා උන්නා
නුඹ නමින් මා හෙලූ කදුළැලි
සද රැජිනියට තෑගි දුන්නා

සිය විජිතය සොයා ගිය රැජිනියකට රාත්‍රිය මේ තරම් සංකාකූල වන්නේ ඇයි?රාගී මාත්සර්යයකට වැඩි ඉඩක් නැති අඩවියක දී පවා ඇය මේ තරම් තැවුල් උපදවන්නේ ඇයි?

කොකුම් අංජන තිලක තවරාගෙන සිරියහනක තනිව හූල්ලන අන්ත අසරණ මනුෂ්‍ය දියණියක් මිස මහේශාක්‍ය රාජිනියක් තව දුරටත් දකින්න නැහැ.අන්ත:පුර සංකල්පය ඇතුලෙ ස්ත්‍රිය මුහුණ දුන් ඓතිහාසික පීඩනය අන්න දැන් අපිට අබිමුඛ වෙනවා.පරිවාර වනිතාවන් පමණක් නොව අග බිසෝවරියන් ද එකී පීඩනයේ සැලකිය යුතු පංගුකාරියන්.

ඒකභාර්යා සේවනය සමාජ විකාශනය ඇතුලෙ ස්ත්‍රිය ලද ඓතිහාසික ජයග්‍රහණයක් කියලා ලිව්වෙ එංගල්ස්.ඒ වුණත් අන්ත:පුර පිළිබද පුරාවෘත්තය ඉතිහාසයෙන් අවසන් වන්නේ නැහැ.ඒක භාර්යා සේවනය කරා සමාජය ගුණාත්මක පිම්මක් පනිද්දි,අන්ත:පුර සංකල්පය සිය නිල හැඩයේ සිට නොනිල හැඩයක් දක්වා රූපාන්තරණය වෙනවා.මේ යුගය නොනිල අන්ත:පුර අයිතිකාරයන්ගෙන් ගහනයි.

නිල හෝ නොනිල වේවා,මේ දෙවිදිය තුළම ස්ත්‍රිය ගේ පීඩනය සමානයි.ලිංගික සූරාකෑම එමමයි.සුගත් තමන් ගෙ කුළුදුල් ගීතමය වික්‍රමය ඇසුරෙ අත පොවමින් ඉන්නෙ,මෙන්න මේ ඓතිහාසික අර්බුදයේ තේමාත්මක ගැඹුරට.

පීඩනය තව දුරටත් දරා ගත නොහැකි මොහොත එළඹුණාම,කිරුළ බිම තියලා රැජින මාළිගාවෙන් එළියට බහිනවා.

හිස් අතින් නුඹ වෙතට ආ මං
හිස් අතින් ආ පයින් යන්නම්
පුරඟනන්ගෙන් පිරුණු ඇතොරේ
රැජින වෙන්නට ඉඩක් නැත්නම්

ඉපැරණි නිල අන්ත:පුරයකින් ඒ විදියට එළියට බැස්සොත් හිස ගැසුම් කන්නයි සිද්ධ වෙන්නෙ.ඒත්,නොනිල අන්ත:පුරයකින් නම් ඔළුව බේරගෙන එළියට එන්න පුලුවන්.දික්කසාද වෙන්නත් පුලුවන්.හිතනවද එහෙනම්,පැරණි ස්ත්‍රියට වඩා නූතන ස්ත්‍රිය භාග්‍යවන්ත යි කියලා.නෑ.ඔළුව බේරෙන එක ඇත්ත.ඒත් එවැන්නියකට එළියට බහින්න වෙන්නෙ ආත්මය කුඩුපට්ටම් වුණු ගෑනියෙක් විදියට.ප්‍රාර්ථනා සී සී කඩ විසිරුණු ගෑනියෙක් විදියට.

නන්දා මාලිනියගේ සංවේගී ස්වරයෙහි ප්‍රතිබ්ම්බගත වෙන්නෙ ගැහැනියකගේ සැහැසි ඉරණමක එබදු ඉච්ඡාභංගත්වයක්.දර්ශන වික්‍රමසිංහගේ ස්වර රචනයත් අදාළ කම්පන තරංගයෙන් ගෙන් ප්‍රස්තුතය වඩාත් ත්‍රීව්‍ර ව දැනෙන්නට හැඟෙන්නට සලසනවා.

ව්‍යසනයක් යැයි නොහැඟෙන ව්‍යසනයක් විපරම් කර බලන්නට සුගත් මේ පදරචනය හරහා සී මැදුරු කවුළුවක් විවර කොට තිබෙනවා.ප්‍රඥා ඇසක් ඇති සහෘදයෙකුට වෙනදාට නොපෙනෙන පදාසයක් දැන් දර්ශනය වෙන්න නියමිතයි.ඇත්තටම කලාවේ ගැඹුරු සමාජ මෙහෙවර කියලා අප තිස්සෙම මතුරන්නෙ මෙන්න මේ කර්තව්‍යයට.ඒ කර්තව්‍යය උදෙසා නන්දා මාලිනියටත්,දර්ශනටත්,සුගත් ටත් අප කෘතඥ විය යුතුයි.

  • නලින්ද සංජීව ලියනගේ