කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ඉදිරියටත් තිරසර ලෙස පවත්වාගෙන යාම සඳහා නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග ඉදිරිපත්කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම ව්‍යාපෘතිය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස්කරන ලෙසට ඇමතිවරයා අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබිණි.

ඒ අනුව සුදුසු ක්‍රමවේදයක් සැකසීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයා විසින් විශේෂඥ තාක්ෂණික කමිටුවක් පත්කරනු ලැබීය.

එම විශේෂඥ තාක්ෂණික කමිටුව විසින් කොළඹ අගනගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ තාක්ෂණික විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව වාර්තාවක් ඉදිරිපත්කර තිබේ.

එම වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතියේ ආරම්භක සැලැස්ම අනුව පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 2.125ක පමණ වාර්ෂික පිරිවැයක් දැරීමට සිදුවේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් දිනකට කසල මෙට්‍රික් ටොන් 300 ක් ආර්ථිකමය වාසි ලබාගත හැකි බවද අදාළ කමිටු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

මෙරට කැළි කසළ අර්බුදයට නිසි විද්‍යාත්මක පරිසර හිතකාමී විසඳුමක් ලබා දී ප්‍රයෝජනවත් අතුරුඵල ලැබෙන පරිදි පරිසර හිතකාමී සනීපාරක්ෂක කසළ රඳවන ලෝකයේ දියුණු රටවල සුලබව දක්නට ලැබෙන බවත්, මෙය මෙරට කැළි කසළ ගැටලුවලට සාර්ථක විසඳුමක් ලැබෙන ව්‍යාපෘතියක් බවත් ඇමතිවරයා සදහන් කර ඇත.