මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසන්නේ මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශ හා අතු ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබීම හේතුවෙන් අතු ගංගා හරහා ගමන් කිරීම, දියනෑම අවදානම් වියහැකි බවය.
අද (30) දිනයේ ගිංගඟ, කළු ගඟ, නිල්වලා ගඟ යන ගංගාවල ජල මට්ටම් ඉහළ ගොස් තිබෙන අතර තවදුරටත් වැසි ඇදහැලුණ හොත් එම ගංගා ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ යෑමේ අවදානමක් පවතින බවද දැනුම්දෙයි.
මේ පිළිබද වැඩිදුරටත් අදහස් දක්වන වාරිමාර්ග අධ්යක්ෂ, ඉංජිනේරු එස්. පී. සී. සුගීෂ්වර මහතා,
“කාලගුණික විපර්යාස හෝ වෙනයම් හේතු මත මෑත කාලය තුළදී අපි නිරීක්ෂණය කරනවා. ඉතා කෙටි කාලයක් තුළ අධික වැසි ලැබීම්. ඉතා කෙටි කාලයක් තුළ ලොකු ජල ධාරිතාවක් පොළොවට පතිතවීම තුළ පවතින ජලය ගලායන මාර්ග ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එමනිසා මේ ජලය භූමිය තුළ එකතු වෙනවා. මේක ඉතාම හානි කරයි. මොකද මේක ගැන අපිට අනතුරු අඟවන්න වෙලාවක් නැහැ. කාලයක් ලැබෙන්නේ නැහැ. ක්ෂණිකව සිදුවෙනවා. ඒ නිසා මේ ගැන මහජනතාව අවබෝධයකින් කටයුතු කිරීමෙන් පමණයි හානි අවම කළ හැක්කේ. මේක වැඩිපුරම බලපාන්නේ නාගරික ප්‍රදේශවල. ඉහළ කඳුකර ප්‍රදේශවලත් මේ තත්ත්වය දකිනවා.”