38වැනි ශිසුඕකා ජාත්‍යයන්තර මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (03) පැවැති කාන්තා මීටර් 800 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ගයන්තිකා අබේරත්න සමත් විය.

ඇය මිනිත්තු 2:04.35ක කාලයකින් තරගය අවසන් කරමින් පළමු ස්ථානය දිනා ගත්තාය.

ගයන්තිකාගේ ඉසව්වෙන් අනතුරුව අරුණ දර්ශන පිරිමි මීටර් 400 ඉසව්ව සඳහා සහභාගි වූ අතර ඔහු තත්පර 45.59ක කාලයකින් සිය ඉසව්ව අවසන් කරමින් සමස්ත කාණ්ඩයේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

අරුණ එම ඉසව්ව අවසන් කිරීමට වැය කළ කාලය මීටර් 400 ඉසව්ව සඳහා ඔහු වාර්තා කළ හොඳම කාලය ලෙස සටහන් විය.

මෙම මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ගයන්තිකා සහ අරුණට අමතරව නිලානි රත්නායකද එක්වී සිටින අතර, ඇය මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කිරීමට නියමිතය.

මෙම වසරේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ කාලසීමාව තවමත් ක්‍රියාත්මක වන බැවින් මෙම තරගාවලියට සහභාගී වී ලබා ගන්නා ප්‍රසාද ලකුණු ලෝක මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට සඳහා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතා වැදගත් වේ.

කවිඳු කාරියවසම්