තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය  සඳහා සහභාගි වීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ එංගලන්තය බලා අද (04) අළුයම පිටත්ව ගොස් ඇත.

මෙම රාජාභිෂේකයට ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ නම ද එම ආරාධනා ලැයිස්තුවට ඇතුළත් බව සඳහන් වේ.

එළැඹෙන 06 වනදා වෙස්මිනිස්ටර් ආසන දෙව් මැදුරේදී තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සිදුකිරීම සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කරමින් පවතින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

චාල්ස් රජුගේ රාජභිෂේකයේදි ඔහුගේ බිරිය කැමිලා ආර්යාවටද ඔටුනු පැලඳවීමට නියමිත අතර, ඒ අනුව ඉදිරියේදී ඇය කැමිලා රැජන ලෙස හැඳින්වීමට නියමිතය.

රාජාභිෂේක මංගල්‍ය උත්සවය සඳහා දෙස් විදෙස් ආරාධිතයන් දෙදහසකට ආරාධනා පත් යවා ඇතැයි බකිංහැම් මාළිගාව නිවේදනය කර ඇත.

ඇමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ට ද ඇරියුම් කිරීමට කටයුතු කර තිබුණද, ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ඒ සඳහා සහභාගි නොවන බවත්, ඒ වෙනුවට ජනාධිපති ආර්යාව ජිල් බයිඩ්න් සහහාගි වීමට නියමිත බවත් වාර්තා වේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය වෙනුවෙන් සසෙක්ස් හී ආදිපාද තුමන් වන හැරී කුමරු සහභාගී වන බව බකින්හැම් මාලිගය නිල වශයෙන් පසුගියදා නිවේදනය කර තිබිණි.

කෙසේ වෙතත් මෙම රාජාභිෂේක උත්සවය සඳහා හැරී කුමරුගේ බිරිඳ වන සසෙක්ස් හී ආදීපාදවරිය වන මේගන් කුමරිය එක් නොවන බව ද සදහන් වේ.

පසුගිය 2020 වසරේ හැරී-මේගන් යුවල සියළුම රාජකීය රාජකාරිවලින් බැහැර වූ අතර, එසේ සිදුකරනු ලැබුවේ නිහඬ දිවියක් ගත කිරීමට බව හැරී කුමරු පවසා තිබිණි.

නිර්මාණි ගුණරත්න