අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති මව්වරුන් විසින් අත්හැර දමා යන මාස 03ට අඩු බිළිඳු දරුවන් සුරක්ෂිතව භාරගැනීමටත් පවතින නීතිය යටතේ දරුවාට  යහපතක්  වන ආකාරයට නීතිමය තීන්දු ගැනිමටත් කඩිනමින් නීති සම්පාදනය කිරීමට තීරණය කර ඇත.

යම් හේතුවක් මත තමන්ට අනවශ්‍ය හෝ හදාවඩා ගැනීමට නොහැකි මාස 03ට අඩු බිළිඳු  දරුවන්  රහසිගතව හා සුරක්ෂිතව තබා යාම සඳහා රජයේ රෝහල් හා පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ අධික්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන 379හි කවුළු ස්ථාපිත කිරීමට ද තීරණය කර තිබේ.

ඒ සඳහා පවත්නා නෛතික තත්වයන් ඇතුළු ඉදිරි මග පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති  ගරු ගීතා  කුමාරසිංහ සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති  විජයදාස රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වෙත හෝ ඒවා මගින් අධීක්ෂණය වන ළමා රැකවරණ මධ්‍යස්ථාන වෙත බාර දීම හෝ රෝහල්, මහාමඟ වැනි වෙනත් ස්ථානවල අතහැර දමා සාමාන්‍යයෙන් සිදු වන අතර, ඉතා සුළු දරුවන් පිරිසක් එම දෙමාපියන් විසින් මරා දමන අවස්ථාද වාර්තා වන බව මෙම රැස්වීමට සහභාගී වූ නිලධාරින් පවසා ඇත.

මෙම ක්‍රියාවලියට සමබන්ධ සියලු ආයතනික නිලධාරින්ගෙන් සමන්විත  කමිටුවක් පත් කොට මෙම වැඩ පිළිවෙල සඳහා අවශ්‍ය නෛතික රාමුව  ඇතුළු මාර්ගෝපදේශ  පිළිබඳව සලකා බැලීමට කඩිනමින් කටයුතු කරන බව එහිදි අධිකරණ ඇමතිවරයා සදහන් කර තිබේ.

දරුවන්ගේ මව කවුරුන්ද යන්න පිළිබඳව කෙදිනක හෝ දැනගැන්මට දරුවෙකු හ‍ට අවැසි වුවහොත් එය දරුවෙකුගේ අයිතිවාසිකමක් වන බැවින් මෙලස අතහැර දමන බිළින්දන්ගේ මව්පියන් පිලිබඳ තොරතුරු රහස්‍යභාවය සුරැකෙන පරිදි හෝ යම් ලෙසකින් සටහන් කර ගැනීමේ වැඩ පිලේවෙලක් සකස් වීම වැදගත් බව ද එහිදි රාජ්‍ය ඇමතිවරිය  අවධාරණය කර ඇත.