ගාසා තීරයට ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මේ දක්වා පලස්තීනුවන් 31,000කට ආසන්න ගණනක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර  මිලියන සංඛ්‍යාත පිරිසක් සාගතයකට ගොදුරුවීමේ අවදානම මැද ගාසා තීරයේ සටන් විරාමයක් වහා ඇති කළ යුතු බවට ජාත්‍යන්තරයෙන් ඊශ්‍රායලයට දැඩි බලපෑම් එල්ල කර​යි .

මාස 5ක් තිස්සේ සිදුවන ගාසා යුද්ධයෙන් මෙතෙක් නොවූ විරූ මානුෂීය අර්බුදයක් ඇති වී තිබෙන බව  ජාත්‍යන්තර විචාරකයෝ පවසති.

එහෙත් ඊශ්‍රායල හමුදා පුහුණු පාසලක නිලධාරීන් විසිරයාමේ උත්සවයකට ඊයේ (07) සහභාගී වෙමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ ගාසා තීරයේ හමුදා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ජාත්‍යන්තරයෙන් එල්ල වන පීඩනය ඉහළයමින් පැවතුනද, යුද්ධය නතර කිරීමට දරන උත්සාහයන්ට එරෙහිව ඊශ්‍රායලය එක්සත්ව නැගී සිටිය යුතු බව නෙතන්යාහු කියා සිටියේය.

උතුරු සහ මධ්‍යම ගාසා තීරයෙන් පමණක් නොව දකුණු ගාසා තීරයේ ඛාන් යූනිස් නගරයෙන් පවා පළා ආ මිලියන 1.5ක් පමණ පලස්තීනුවන් දැන් ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා නගරයේ රැඳී සිටින අතර එහි මහා පරිමාණ ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීම අනතුරුදායක බවට අමෙරිකාව පවා ප්‍රකාශ කර තිබේ.

රෆා නගරය හමාස් සංවිධානයේ අවසන් බලකොටුව ලෙස අගමැති නෙතන්යාහු හඳුන්වන අතර රෆා මෙහෙයුම දියත් නොකරන ලෙස කිසිවෙකු පවසන්නේ නම් එය යුද්ධයෙන් පරාජය වන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටීමක් වැනි යැයි නෙතන්යාහු කියා සිටියේය.

මේ අතර ගාසා තීරයේ දින 40ක සටන් විරාමයක් ඇතිකිරීම සඳහා කයිරෝ නුවර පැවති සාකච්ඡාවල ප්‍රගතියක් වාර්තා නොවීමත් සමග හමාස් නියෝජිතයන් ඊයේ කයිරෝවෙන් නික්ම ගොස් ඇති බව සඳහන් ය.

කටාරයේ සහ ඊජිප්තුවේ සම්බන්ධීකරණයෙන් දින 04ක් තිස්සේ පැවති සාකච්ඡාවලින් එකඟත්වයකට පැමිණීමට නොහැකිවීම ගැන ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකිනෙකාට වරද පැටවීමට උත්සාහ කරයි.

කෙසේ නමුත් ඊජිප්තු බලධාරීන් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයේ ඍජු සහභාගීත්වයකින් තොරව පැවති සාකච්ඡා රාමසාන් උදාවට පෙර ඉරිදා දිනයේ යළි ආරම්භ විය හැකි බවයි.

බයිඩන් පරිපාලනය, සටන් විරාම එකඟතාවක් ඇතිකිරීමට නොහැකිවීම ගැන දොස් පවරන්නේ හමාස් සංවිධානයට ය.

ගාසා තීරයේ වහා සටන් විරාමයක් ඇති කිරීමට නම් එකඟතාවක් ඇතිවීමට පෙර වයස්ගත හා රෝගී ප්‍රාණ ඇපකරුවන් නිකුත් කළ යුතු බව ඇමරිකාව ඉල්ලා තිබුණ අතර හමාස් සංවිධානය ඒ අනුව කටයුතු නොකිරීම එකඟතාවක් ඇති නොවීමට හේතුව ලෙස අමෙරිකාව සඳහන් කරයි.

එහෙත් හමාස් සංවිධානය පවසන්නේ ඊශ්‍රායලය සමග එක්ව අමෙරිකාව සිදුකරන එවැනි ප්‍රකාශ නොමඟ යවන සුළු බවත් සටන් විරාමය යුද්ධය අවසන් කිරීමට හේතුවිය යුතු බව​ත හමාස් සංවිධානය කියා සිටි​යි.

එහෙත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම සඳහා තමන් ඕනෑම පියවරකට සූදානම් බව පවසන ඊශ්‍රායලය අවධාරණය කළේ තමන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ ලැයිස්තුවක් ලබාදීමට හමාස් සංවිධානය අපොහොසත් වීම ප්‍රධානතම බාධකය බවයි.

මේ අතර ජනපති බයිඩන් මෙවර සිය වාර්ෂික දේශනය සිදුකළේ ගාසා යුද්ධයේදී ඔහු ඊශ්‍රායලයට කොන්දේසි විරහිත සහායක් ලබාදීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රගතිශීලි කණ්ඩායම්වල අප්‍රසාදයට ලක්ව ඇති අවස්ථාවක ය.

ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙනඒම සඳහා එහි මධ්‍යධරණි වෙරළේ අමෙරිකානු හමුදා විසින් වරායක් ඉදිකිරීමට ජනපති බයිඩන් නව යෝජනාවක් ඉදිරිපත් කළ අතර සයිප්‍රස් දිවයිනේ සිට ආධාර රැගෙනඒම සඳහා තාවකාලික තොටුපොළක් ඉදිකළ ද ගාසා තීරයට අමෙරිකානු හමුදා එවීමට අදහස් නොකරන බව ජනපති බයිඩන් කියා සිටියේය.

ගාසා තීරයේ මධ්‍යධරණි වෙරළේ ඉදිකරන එම තාවකාලික තොටුපොළ හරහා ගාසා තීරයේ පලස්තීනුවන්ට අවශ්‍ය ආහාර, ඖෂධ, ජලය සහ තාවකාලික කූඩාරම් රැගෙන ආ හැකි බව ජනපති බයිඩන් පෙන්වා දුන්නේය.

අමෙරිකාව විසින් ගාසා තීරයේ මුහුදු තොටුපොළක් ඉදිකිරීමේ යෝජනාවට ඊශ්‍රායලය විරෝධය දක්වා නැත.

එමෙන්ම සයිප්‍රසයේ සිට ගාසා තීරය දක්වා මානුෂීය ආධාර කොරිඩෝවක් ඉදිකිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ අනෙකුත් සහන සංවිධානවල ප්‍රසාදයට ලක්වී තිබුණි.

ඊශ්‍රායලය අනුමැතිය ලබාදෙන තෙක් බලා නොසිට අමෙරිකාව විසින් නායකත්වය ගෙන කටයුතු කිරීමට දැන් අවස්ථාව උදාවී ඇති බව ජනපති බයිඩන් සඳහන් කළේය.