සමාජ මාධ්‍ය සමූහයන්ට ගුරුවරියකගේ සංස්කරණය කරමින් සැකසූ නිරුවත් ඡායාරූප එක්කළ එම පාසලේම සිසුවෙකු රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් ඊයේ (11) නියෝග කර ඇත.

වැලිපැන්නගහමුල්ල ප්‍රදේශයේ 18 හැවිරිදි සිසුවෙකු එලෙස ඇපමත මුදාහළ අතර, සැකකරුට අවවාද කරමින් අදාළ සේයාරූ වෙනත් සංස්කරණයන්ට භාජනය නොකරන ලෙසත් සාක්ෂිවලට කිසිඳු බලපෑමක් නොකරන ලෙසත් එසේ කළ බවට වාර්තා වුවහොත් ඇප අවලංගුකොට නීති කෘත්‍ය අවසන් වනතෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කර ඇත.

සැකකරු මෙසේ වෙනත් කාමුක රූපවලට ගුරුවරියගේ මුහුණ යෙදූ ඡායාරූප Facebook හා Telegram සමාජ මාධ්‍යවල කාමුක දසුන් සහිත සමූහවලට මුදාහැරීමෙන් එම පාසැලේම සේවය කරන වින්දිත ගුරුවරිය දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවත්, සියදිවි හානිකරගන්නා අවධානමක් පවා පවතින බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කල ‘බී’ වාර්තාවක් මගින් පොලිසිය සඳහන් කරයි.

එමෙන්ම එලෙස මුදාහැර ඇති දසුන් නැරඹූ ඇතැම් පිරිස් ගුරුවරිය අමතා ඇති අතර, ගුරුවරිය එවැන්නක් සිදුව ඇති බව දැන ඇත්තේ ඒ අනුව බවත් පොලිසිය අධිකරණයේදී සඳහන් කර තිබේ.

නමු​ත් සැකකරුගේ නීතිඥවරුන් පවසා ඇත්​තේ එම සමූහයන්ගේ වගකීම් බාරගත නොහැකි බවයි.

එමෙන්​ම මෙම නඩුවේ සාක්ෂි ලෙසින් ඉදිරිපත් කර ඇති අය ඉතා අඩු වයසේ අය නි​සා සැකකරු ඇපමත මුදාහරින ලෙස අධිකරණයෙ​න් ඉල්ලා තිබේ.