ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුව යෝජනා කර ඇත.

ඒ අනුව ජාතික ගීය ගායනා කළ යුතු ආකාරය පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුව ඔස්සේ සම්මත කරගැනීම මෙමගින් යෝජනා කර ඇති බව සදහන් වේ.

මෙරට ජාතික කොඩිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සඳහන්ව තිබුණ ද ජාතික ගීය ගායනයේදී මධ්‍ය ස්වරයෙන් ගායනා කළ යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පමණක් සඳහන්ව තිබීම මෙයට හේතුව වේ.

උමාරා සිංහවංශ ජාතික ගීය උච්ඡ ස්වරයෙන් ගායනා කර ඇති බවට කමිටුව විසින් හදුනාගෙන ඇති අතර එය ඇය විසින් ද පිළිගෙන ඇත.

පසුගියදා පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගයේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.