ජාතික වනෝද්‍යාන 15ක වන සතුන් උග්‍ර ආහාර හා පානීය ජල හිඟයකින් පීඩාවට පත්ව ඇති බව වනජීවී නියාමන නිලධාරීන්ගේ සංගමය පවසා ඇත.

දරුණු වියළි කාලගුණික තත්ත්වයත් සමග උෂ්ණත්වය ඉහළ යාමෙන් ජාතික වනෝද්‍යාන තුළ තෘණ බිම් වියළී වන සතුන් මෙලෙස පීඩාවට පත්ව ඇත.

මෙලෙස පීඩාවට පත්ව ඇති දුර්වල සතුන් ආහාර හා ජලය නොමැතිව මිය යන බව වනජීවී නියාමන නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.

මාදුරුඔය, ගල්ඔය, විල්පත්තුව, අංගම්මැඩිල්ල, හොරොව්පතාන, සෝමාවතිය, උඩවලව, බූන්දල, වස්ගමුව, මින්නේරිය, කවුඩුල්ල, ගිරිතලේ සහ යාල තෘණ බිම් වියළී උග්‍ර ආහාර අර්බුදයක් නිර්මාණය වී ඇති බව සඳහන් වේ.

ජාතික වනෝද්‍යාන තුළ සහ ප්‍රේරණ රක්ෂිත කලාප තුළ ගිනි තැබීම් නිසා වන අලින් සඳහාද උග්‍ර ආහාර අර්බුදයක් පවතී.

උරගයන් සහ ක්‍ෂීරපායි සතුන් ගින්නට මැදිවී මිය යන බව ද වාර්තා වේ.

ගිනි තැබීම් වැනි හදිසි තත්ත්වයන් පාලනය සඳහා මානව හා භෞතික සම්පත් හිඟය බලපා තිබෙන බව ද සඳහන් වේ.