මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දිනේෂ් පෙරේරා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල්වලින් මිලදීගත් අධි සුඛෝපභෝගී නිවාස දෙකක් සහ මෝටර් රථ තුනක් පොලිසිය විසින් ඊයේ (28) තහනම් කල අතර එම දේපොළවල වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බව පොලීසිය පවසයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු වන දිනේෂ් පෙරේරා සහ ඔහුගේ සහෝදරයා පසුගියදා මහනුවරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සැකකරුගේ දේපොළ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට දැනුම්දී ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර අනතුරුව එහි විමර්ශන පැවරුණේ ජාලගත වංචා විමර්ශන ඒකකය වෙතටයි.

එහි ප්‍රථිඵලයක් ලෙස ඊයේ දිනයේදී දිනේශ් පෙරේරා නමැත්තාට අයත් ගෝනපල ප්‍රදේශයේ පිහිටි කෝටි 2කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී නිවස මෙලෙස පවරාගත් අතර එය ඔහුගේ බිරියගේ නමින් මිලදීගෙන ඇති අතර එය මිලදීගැනීමට මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට ඇය අපොහොසත්වී ඇත.

අනතුරුව විමර්ශන නිලධාරීන් සැකකරුගේ මවගේ නමින් මිලදීගෙන තිබූ මොරන්තුඩුව ප්‍රදේශයේ නිවසක්ද පවරාගෙන තිබු අතර එහි වටිනාකම පමණක් රුපියල් කෝටි 5කට අධික බව විමර්ශන නිලධාරීන් සඳහන් කරයි.

මේ අතර රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් ඇතුළු මෝටර් රථ තුනක් ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන තිබුණි.