දේශීය ණය ප්‍රශස්තකරණය තුළ කිසිදු පාර්ශ්වයකට හානියක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසා ඇත.

ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතතාවය තහවුරු කරමින් බැංකු පද්ධතිය සුරක්ෂිත කිරීම රජයේ අරමුණ බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

ඊට විරුද්ධ වන පාර්ශ්වයන්ගේ අරමුණ වන්නේ ජනතා මුදල් කපා හැරීම හා බැංකු පද්ධතිය කඩා වැටීම බව ද ඔහු අවධාරණය කර ඇත.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන්  අද (30) අදහස් දක්වමිනි.

එහිදි ඔහු වැඩිදුරටත් මෙසේ පවසා ඇත.

“දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් මේ වෙනකොට රජයේ තීරණය ප්‍රසිද්ධ කර තිබෙනවා. කැබිනට් මණ්ඩලයේ ත් අනුමැතිය සහිතව අපි මුදල් කාරක සභාවේ දී ත් මෙය සාකච්ඡා කළා. ඒ අනුව මෙය හෙට දිනයේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි. ඒ අතරවාරයේ දී විපක්ෂය මෙම තීරණයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව ඊයේ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. යෝජිත ප්‍රශස්තකරණ වැඩපිළිවෙල තුළින් මිලියන 57ක් වූ බැංකු ගිණුම් හිමියන්ගේ තැන්පතු වලට හානියක් සිදුවන්නේ නෑ. ඔවුන් ලබන පොළියට හානියක් සිදු වන්නෙත් නෑ. ඒ වගේම අර්ථසාධක අරමුදලට හානියක් සිදු වන්නෙත් නෑ. ඒ එක්කම මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන බිල්පත් මෙන්ම බැඳුම්කර වල ආයෝජනය කර ඇති කිසිදු ආයෝජකයෙකුට හානියක් සිදු වන්නෙත් නෑ.

එතකොට රජය විසින් යෝජනා කරන මේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනට විරුද්ධ නම් ඊට හාත්පසින්ම වෙනස් වැඩපිළිවෙලක් විපක්ෂයෙන් යෝජනා විය යුතුයි. එතකොට විපක්ෂයේ යෝජනාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ මේ රටේ තැන්පත්කරුවන්ගේ තැන්පත් වලින් යම් ප්‍රතිශතයක් අඩු වීම. ඒ වගේම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින් යම් ප්‍රතිශතයක් කපා හැරීම. එවැනි කපා හැරීමක් සිදු වනවා නම් ඒ කියන්නේ අර්ථසාධක අරමුදලින් යම් ප්‍රතිශතයක් කපා හැරිය යුතුයි. එතකොට ඔවුන්ගේ ශේෂයන් වලට බලපෑමක් ඇති වනවා. ඒ හින්දා අපේ යෝජනාවලියට විරුද්ධ නම් ඒ කියන්නේ විපක්ෂයේ යෝජනාවෙන් කියවෙන කාරණා තමයි මම මේ විස්තර කළේ.