දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයට පත්කිරීම වළක්වන නියෝගයක් ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙහි පෙත්සම්කාර පාර්ශ්වය අභියෝගයට ලක්කරමින් ජ්‍යෙෂ්ඨ මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි ඇතුළු භික්ෂුන් වහන්සේ හත් නමක් එහි පාර්ශ්වකරුවන්සේ ඉදිරිපත් වීමට මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.

ජ්‍යෙෂ්ඨ මහාවිහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි, රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය අකුරැටියේ නන්ද හිමි, කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ශාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති බෝදාගම චන්දිම නාහිමි හා ධර්මදේශක උඩුවේ ධම්මාලෝක හිමි යන භික්ෂුන් මෙසේ මෙම පෙත්සමට පාර්ශ්වකරුවන් වීමට ඉදිරිපත්ව සිටිති.

පොලිස්පතිවරයාගේ පත්කිරීමේ බලතල විධායකය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබියදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙසේ මැදිහත්වීම ආගමික මුහුණුවරක් ගෙන ඇතැයි කියමින් මෙම භික්ෂුන් වහන්සේලා පෙස්සම් විභාගයෙහි පාර්ශ්වකරුවන් වීමට ඉල්ලා සිටියි.

නැගෙනහිර පළාතේ අවදානමට ලක් වූ පුරාවස්තු ආරක්ෂා කරගනිමින් දේශබන්ධු තෙන්නකෝන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වශයෙන් සමාජීය වශයෙන් විශාල සේවයක් රටට කළ අයකු යැයි එම හිමිවරු පවසති.

මෙම හිමිවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටියි.