දෙමළ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ සංගමය ( Tamil Film Producers Council ) විසින් ධනුෂ්, සිලම්බරාසන් (සිම්බු), විශාල් රෙඩ්ඩි සහ අතාර්වා යන සුපිරි කොලිවුඩ් නළුවන්ට එරෙහිව රතු කාඩ් (Red Cards) නිකුත් කර ඇති බව වාර්තා වනවා. ඊයේ දිනයේ දී (14) චෙන්නායි හි පැවති එම සංගමයේ විධායක කමිටු රැස්වීමේදී  මෙම තීරණය ගෙන ඇති අතර, මෙවැනි සිදුවීමක් කොලිවුඩයෙන් වාර්තා වන ප්‍රථම අවස්ථාව ද මෙය වනවා. “රතු කාඩ්පත් නිකුත් කිරීම” යනු, යළි දැනුම් දෙන තුරු නම් කළ කිසිඳු නළුවකුට කොලිවුඩයේ කිසිඳු නිෂ්පාදකවරයෙකු සමග කටයුතු කිරීම තහනම් කිරීමයි. ගිවිසුම්ගත වූ පරිදි චිත්‍රපට සඳහා දායකත්වය නොදැක්වීම, සෙසු ශිල්පීන්ට සහාය නොවීම, ගිවිසුම් කඩකිරීම, මුදල් අවභාවිතාව වැනි විවිධ චෝදනා මෙම තීරණය සඳහා හේතු වි තිබුණා.

මෙම වසරේ ජූලි මාසයේදීද සිම්බු, විශාල්, යෝගි බාබු, අතාර්වා ඇතුළු නළුවන් කිහිපදෙනෙකුට TFPC වෙතින් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූ බව මීට පෙර වාර්තා වූ අතර, ඉතා විශාල රසික ප්‍රජාවකගේ ආදරය දිනාගෙන ඇති මෙවැනි සුපිරි රංගන ශිල්පීන් මේ ආකාරයේ චෝදනා ලැබීම ඔවුන්ගේ කිර්ති නාමය කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවයි විචාරකයින් මත පළ කරන්නේ. මෙවැනි පුවතක් සමාජගත විමෙන් අද දින තිරගත කිරීම ඇරඹූ විශාල් ගේ  Mark Anthony  මෙන්ම ඉදිරියේ දී තිරගත වීමට නියමිත ධනුෂ්ගේ Captain Miller යන චිත්‍රපටවල සාර්ථකත්වයට පවා සිදුවන හානිය සුළුපටු නොවනු ඇති බවටයි ඔවුන් පවසන්නේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙම සුපිරි නළුවන් කිසිවෙකු විසින් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.