ධර්ම හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභ අපේක්ෂාවෙන් ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස මහ නාහිමිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

මල්වතු පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන, ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක මකුලෑවේ ශ්‍රී විමලාභිධාන හිමිපාණන්ගේ අත්සනින් යවා ඇති එම ලිපියේ මෙසේ ද සඳහන් වෙයි.

“විවිධ පටු ලාභාපේක්ෂාවන්ගෙන් ගිහි – පැවිදි පිරිස් සංවිධානාත්මකව බුදු දහමේ ගාම්භීරත්වය මෙන් ම සුනිශිතභාවය විනාශ කරමින් ධර්ම හානියක් මෙන් ම ශාසනික හානියක් කිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරතව සිටියි.

මෙම අප්‍රතිකාරී සංවිධානාත්මක ක්‍රියාපිළිවෙතෙහි වඩාත් මෑතකාලීන නිදර්ශන වනුයේ, තමන් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ලෙස හඳුන්වා දෙමින් බෞද්ධ මහජනතාව නොමග යවමින් බෞද්ධ දාර්ශනික හර පද්ධතීන් විනාශ කිරීමට පුද්ගලයෙකු කටයුතු කිරීම හා ජීවිතයේ යථාර්ථය පිළිබඳ බෞද්ධ දේශනා සාවද්‍ය ලෙස විස්තර කරමින් අසරණ මහජනතාව නොමඟ යවමින් සදාකාලික සැපය ලබා ගැනීම උදෙසා පුද්ගලයන් සියදිවි නසා ගැනීමට පෙළඹවීමයි.

මීට පෙර ද විවිධ පුද්ගලයන් චිරාගත භික්ෂු භූමිකාවට හානි කිරීම, බුද්ධ චරිතය විකෘති කිරීම, බෞද්ධ මහජනතාවගේ වන්දනාවට පාත්‍ර වන පූජනීය වස්තූන් පිළිබඳ නිග්‍රහාත්මක ප්‍රකාශයන් කිරීම වැනි අන්තගාමී සමාජ කැළඹීමකට තුඩු දෙන ක්‍රියාවන් කරමින් බෞද්ධ මහජනතාව නොමඟ යැවීමට විවිධ ප්‍රයත්නයන්හි නිරත වූ ආකාරය අප හට නිරීක්ෂණය විය. එම සෑම සිදුවීමක් පිටුපස ම සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක වූ ආකාරය හා ඇතැම් අන්තවාදී සංවිධාන මගින් එවැනි පුද්ගලයන්ට සුවිසල් මූල්‍යමය දායකත්වයක් ලබා දුන් ආකාරය පිළිබඳව ත් කරුණු හෙළි විය.

බුදු දහම විනාශ කිරීමට උත්සාහ දරන මෙවැනි පුද්ගලයන්ගේ හැසිරීම තවදුරට ත් හුදු සිද්ධීන් ලෙස ලඝු කොට සැලකිය නොහැකි බව ප්‍රත්‍යක්ෂ වී හමාරය. එහෙයින් සංවිධානාත්මකව උතුම් සම්බුද්ධ දේශනාවන්ගේ සුනිශිත අර්ථයන් කෙලෙසමින් අනුක්‍රමයෙන් කරන මෙවැනි සිදුවීම් හුදෙකලා කොට විසඳුම් සෙවීම වෙනුවට යළි ලාංකේය සමාජය තුළ මෙවැනි ධර්ම විකෘතීන් හා ශාසන විකෘතීන් කිරීම වැළැක්වීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීමට කාලය එළඹ ඇත.

එසේ ම, එවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය තුළ ප්‍රවර්ධනය කරමින් බෞද්ධ මහජනතාව නොමග යවමින් සමාජ කැළඹීම් ඇති කිරීමට උත්සහ දරන පුද්ගලයන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එවැනි ප්‍රකාශන ප්‍රවර්ධනය නියාමනය කිරීමට නෛතික ප්‍රතිපාදන සම්පාදනය කිරීම ද කාලීන අවශ්‍යතාවකි.

එහෙයින්, සම්බුද්ධ ශාසනයේ සුරක්ෂාව, ප්‍රවර්ධනය හා පෝෂණය උදෙසා බැදී සිටින ශ්‍රී ලංකා ජනරජයේ ගරු ජනාධිපතිතුමන් ලෙස මේ පිළිබඳ ඔබතුමන්ගේ කාරුණික අවධානය යොමුකොට ධර්ම විකෘතීන්හි හා ශාසන විකෘතීන්හි යෙදෙමින් පටු ලාභාපේක්ෂාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සම්පාදනයට කටයුතු කරන ලෙස හිතාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටිම්හ.

මේ පිළිබඳ ඔබතුමන්ගේ කඩිනම් අවධානය අගය කරන අතරම ඔබතුමන්ට රත්නත්‍රයේ ආශීර්වාදය සැලසේවායි ආශිංසනය කරම්හ.”