අම්පාර හා මඩකලපුව ඇතුළු නැගෙනහිර පළාතේ ගොවීන් වගා කර ඇති වී විශේෂය සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය පැහැදිලි කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

නැගෙනහිර පළාතේ ගොවීන් විසින් වගා කර තිබෙන 44/1 වී වර්ගය විශාල අස්වැන්නක් ලැබී ඇති නමුත් එම වී අලෙවි කර ගැනීමට නොහැකිව ගොවි ජනතාව ගැටළුකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව ඊයේ (09) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති කෘෂිකර්ම උපදේශක කාරක සභාවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අවධාරණය කර තිබේ.

වී අලෙවි මණ්ඩලය හෝ පුද්ගලික අංශයෙන් මෙම වී වර්ගය මිලදී නොගන්නා බවත්, වී කෙටීමේදී වී ඇට කොටස් 03කට කැඩී යන බැවින් එම වී මිලදී ගැනීම ඉහත කී අංශ දෙකෙන්ම ප්‍රතික්ෂේප වී ඇති බවත් එහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා පවසා ඇත.

එහෙත් එවැනි වී වර්ගයක් වගා කීරීම සඳහා ගොවීන් පොළඹවන ලද්දේ ඇයිද යන කාරණය සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැහැදිලි කළ යුතු බව ද ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම ඉදිරි කන්නවලදී මෙම වී වර්ගය වගා කිරීමට හෝ වෙනත් වී වර්ගයක් හඳුන්වා දෙන්නේ නම් ඒ සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය පැහැදිලි කළ යුතු බව ද අමාත්‍යවරයා පවසා ඇත.

මේ අතර, මෙම වී වර්ගයෙන් ලැබී ඇති අස්වැන්න සත්ව ආහාර සඳහා හෝ වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කර තිබේ .