නුවරඑළිය දිස්ත්‍රික්කයේ සත්ත්ව ගොවියන් විසින් ඇතිකරනු ලබන එළදෙනුන් අතර ශීඝ්‍රයෙන් සරම්ප රෝගය (සමේ ගැටිති රෝගය) පැතිර යෑම හේතුවෙන් සතුන් කිහිපදෙනකු මේ වන විට මියගොස් ඇති බව තලවකැලේ සහ කොටගල ප්‍රදේශය භාර රජයේ පශු වෛද්‍ය නිලධාරි සුරේෂ් කුමාර් මහතා පැවසයි.

දේශීය කිරි කර්මාන්තයේ 12%ක් පමණ දියර කිරි නිෂ්පාදන නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලැබෙන බැවින් ගැටලු සහගත තත්වයක් උද්ගතව ඇත.

පැතිර යන සරම්ප රෝගය සහ ඒ හේතුවෙන් සතුන් මියයෑම නිසා සරම්ප රෝගය වැලඳුණු එළදෙනුන් ගොවීන් විසින් ගව මස් අලෙවිසල්වලට අලෙවි කරන බවත්, එම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දෛනික කිරි නිෂ්පාදනය පහළ බැස ඇති බවත් පශු වෛද්‍යවරයා පවසයි

තව ද එළදෙනුන් අතර පැතිර යන සරම්ප රෝගය පාලනය කිරීම සඳහා එන්නතක් ලබාදිය යුතුව ඇතත් එම එන්නත සෞඛ්‍ය අමාත්‍යාංශ සංචිතය තුළ නොමැති නිසා පැතිර යන රෝගය පාලනය කිරීමට නොහැකි බවත් වෛද්‍යවරයා තව දුරටත් පවසා සිටියා .