අයර්ලන්තයේ සහ නෝර්වේහි සිටින ඊශ්‍රායල තානාපතිවරුන් වහාම ආපසු කැඳවීමට ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය නියෝග කොට තිබෙනවා

පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට අයර්ලන්ත සහ නෝර්වේ ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් මෙම තීරණය ගත් බව ඊශ්‍රාලය පවසයි .

ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසුවේ පලස්තීන රාජ්‍යයක් පිළිගැනීමට ගත් තීරණය මගින් ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය සහ ගාසා තීරයේ හමාස් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 128 දෙනා ආපසු ලබා දීමට දරන උත්සාහය හෑල්ලුවට ලක් කළ බවයි.

ඊශ්‍රායලය තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින නිසා ඊශ්‍රායලය නිහඬව සිටින්නේ නැති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

පුරවැසියන්ගේ ආරක්ෂාව යළි ස්ථාපිත කිරීම සහ හමාස් ඉවත් කිරීම මෙන්ම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසා තිබෙනවා.