අන්තර් සමාජ පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට එස්.එස්.සී. ක්‍රීඩා සමාජය අද සමත් විය.

ඒ සෙබස්තියනයිට්ස් කණ්ඩායම සමගින් පැවැති අවසන් තරගය ලකුණු 71කින් ජය ගනිමිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එස්.එස්.සී. ක්‍රීඩා සමාජය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 201ක් රැස් කළේය.

එහිදී එස්.එස්.සී. කණ්ඩායම වෙනුවෙන් ක්‍රිෂාන් සංජුල ලකුණු 84ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී සෙබස්තියනයිට්ස් කණ්ඩායම වෙනුවෙන් ඉසිත විජේසුන්දර (2/39), දුෂාන් විමුක්ති (2/39) සහ චාමිකර එදිරිසිංහ (2/40) කඩුලු 02 බැගින් බිඳ හෙළීය.

අනතුරුව ලකුණු 202ක ඉලක්කයක් හඹා ගිය සෙබස්තියනයිට්ස් කණ්ඩායමට පන්දුවාර 42කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 130ක් පමණි.

සෙබස්තියනයිට්ස් කණ්ඩායම වෙනුවෙන් චාමිකර එදිරිසිංහ ලකුණු 37ක් සහ නායක ප්‍රමෝද් මධුවන්ත ලකුණු 21ක් රැස් කළහ.

එස්.එස්.සී. කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 25කට කඩුලු 03ක් බිඳ හෙළීය.

අවසන් මහ තරගය අද කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්විණි.