පළාත් සභා ක්‍රම​ය පවතින ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බව තමන් පිළිගන්නා බව ජාතික ජන බලවේගයේ නාය​ක අනුර කුමාර දිසානායක පවසනවා

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක්  සමග යාපනයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා .

මෙම පළාත් සභා ක්‍රමය  තවදුරටත් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කළ යුතු බවද අනුර කුමාර දිසානායක තව දුරටත් අවධාරණය කළා.

 

“මෙතැනින් එහාට යෑම සඳහා අපි සාකච්ඡාවක් ගොඩනැගිය යුතුයි. විශේෂයෙන්ම ව්‍යවස්ථාමය වෙනස්කමක් අවශ්‍ය වී තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැනට ව්‍යවස්ථාව තුළ නීති තුළින් ස්ථාපිත කරලා තියෙන සමගිය සඳහා තිබෙන අවස්ථාවන් අපි අවම කළ යුතුව තියෙනවා. සමහර ඒවා නීතියට ව්‍යවස්ථාවට පමණක් සීමාවෙලා. ඒවා ප්‍රායෝගිකව සිදුකිරීමට ඉන් ඔබ්බට ගිහින් ක්‍රියාකාරකම් අවශ්‍යයි. පළාත් සභා කියන්නේ බලය බෙදාහැරීමක්. ඒ නිසා දැනටමත් ක්‍රියාත්මක පළාත් සභාවලට අපි එකඟත්වය පළ කළා. ඒ විතරක් නෙමෙයි පළාත් සභාවලින් දැනට තියෙන තත්ත්වයෙන් විසඳුමක් ඇති නොවී තිබෙන බවත් අපි පිළිගන්නවා. ඒ නිසා අපි ඉන් ඔබ්බට යා යුතුයි. ව්‍යවස්ථාමය, නීතිමය, ප්‍රායෝගික ආදි කේෂ්ත්‍ර ගණනාවක වෙනස්කමකින් තමා ජාතික සමගිය ස්ථාපිත කළ හැක්කේ කියලා අපි විශ්වාස කරනවා.”