ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාව (French Open) තමන් සතු කර ගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (11) සමත් විය. ඒ අනුව පිරිමි කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව 23වැනි වරටත් දිනාගත් ලොව පළමු ක්‍රීඩකයා බවට පත්වීමට නොවැක් ජොකොවිච්ට හැකි විය.

මීට පෙර රෆායල් නඩාල් 22වතාවක් කේවල ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා ජයග්‍රහණය කර තිබිණි. මේ අනුව ඊයේ දිනයේ සිට එම සටහනේ දෙවැනි තැන රෆායල් නඩාල්ට හිමිවන අතර, තෙවැනි තැන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 20ක් දිනූ රොජර් ෆෙඩරර්ට හිමි වේ.

ඊයේ දිනයේදී 34වැනි වරටත් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක අවසන් තරගයට මුහුණ දුන් ජොකොවිච් සිය ප්‍රතිවාදියා වූ කැස්පර් රූඩ් තරග වට 3-0 ලෙස (7-6), (6-3), (7-5) පරාජය කළේය.

සෑම ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගාවලියක්ම තුන් වතාවක් ජයග්‍රහණය කළ ලොව පළමු ක්‍රීඩකයා වීමේ වාර්තාවද තමා සතු කර ගැනීමට ජොකොවිච් සමත් විය. එමෙන්ම ලොව හොඳම ටෙනිස් ක්‍රීඩකයා ලෙස 388වැනි සතියේද අංක 1 ස්ථානයේ රැඳී සිටීමට ජොකොවිච් සමත්වීම විශේෂත්වයකි.

කවිඳු කාරියවසම්