ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන කේන්ද්‍ර කරගනිමින් පවත්වන සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (23)වනදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්විණි.

සංස්කෘතික මිනිසෙකු බිහි කිරීමේ අරමුණින් දැයේ දූ දරුවන් සෞන්දර්ය අධ්‍යාපනය සඳහා නැඹුරු කිරීමට, සංවේදී සුචරිතවත් අනාගත පරපුරක් බිහි කිරීමට හා ඔවුන්ගේ කලා කුසලතා වර්ධනය කරවීම සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙම තරඟාවලිය සහ සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරයි.

සිංහල දමිළ ද්වීභාෂාවන්ගෙන් සංගීත, නර්තන, නාට්‍ය සහ චිත්‍ර ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජයග්‍රහණ ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට මෙහිදී සම්මාන ප්‍රදානය කෙරිණි.

අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා 2023 සමස්ථ
තරඟාවලියේ සම ශූරතාවය සන්දිලිප්පායි සංස්කෘතික මධ්‍යස්ථානය සහ කඩුවෙල සංස්කෘතික මධ්‍යස්ථානය දිනා ගනු ලැබිණි.

එමෙන්ම මෙහිදී විවිධ තරඟ කාණ්ඩ ඔස්සේ ජයග්‍රහණය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජුරියේ සම්මාන, කුසලතා සම්මාන සහ සහතිකපත් ද ප්‍රදානය කෙරිණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ , අතිරේක ලේකම් තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ සංස්කෘතික ප්‍රවර්ධන ආචාර්ය ප්‍රසාද් රණසිංහ, සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, ප්‍රවීණ නාට්‍යවේදීන් වන එල්.එස්.මොහාන් රාජ්, කලෙයි චෙල්වම් යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.