සමලිංගික සබඳතා නීතිගත කිරීම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සිදු කල හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යපා අබේවර්ධන අද (09)  පාර්ලිමේන්තුවේ දී  පවසා ඇත.

පිටු 43 කින් යුත් සම්පූර්ණ තීන්දුවක් මගින් මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ ජාතික ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ විජිත් මලල්ගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්  මෙම නියෝගය ලබා දී තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් දොලවත්ත විසින් අප්‍රේල් 4 වැනි දින ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරුවන් තිදෙනෙකු මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට තීරණයක් ගන්නා ලෙසය.

පනත් කෙටුම්පතට සහය පළ කරන අතරමැදි පෙත්සම් 14 ක් තවත් පුරවැසියන් 30 ක් සහ සිවිල් සමාජ සංවිධාන දෙකක් විසින් ගොනු කරන ලදී.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ දැනට ස්ත්‍රීන් සහ පුරුෂයන් සමඟ ‘අස්වාභාවික’ ලිංගික සම්බන්ධතා සඳහා නඩු පැවරීමට ඉඩ සලසන විධිවිධාන අඩංගු වේ.

නිර්මාණි ගුණරත්න