මෙරට මුහුදු සීමාවේදී  ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමනඩ් හා එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු පිළිබඳව කරුණු සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්  පත්කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 21 දෙනෙක් කතානායකවරයා වෙත ලිපියක් භාර දී ඇත.

මෙම තේරිම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් පත් කරන ලෙස ද එහි සදහන් කර තිබේ.

යන්ත කැටගොඩ, සංජීව එදිරිමාන්න,යදාමිණි ගුණවර්ධණ,ඩබ්ලිව්.ඩී වීරසිංහ, රංජිත් බණ්ඩාර,මධුර විතානගේ,රාජිකා වික්‍රමසිංහ,ගුණතිලක රාජපක්ෂ,කුමාරසිරි රත්නායක,ජගත් කුමාර,මහින්දානන්ද අලුත්ගමගේ,සම්පත් අතුකෝරාළ,නාලක කෝට්ටේගොඩ, සුදර්ෂණ දෙනිපිටිය,කේ.ඒ.යූ.කේ ගුණතිලක,නිමල් ලාංසා,එච්.එම්.එම් හාරීස්,සරත් වීරසේකර,මුදිත ද සොයිසා,එස්.බී දිසානායක, ප්‍රදීප් උඳුගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදාළ ලිපිය සඳහා අත්සන් තබා ඇත. 

මෙම අනතුරු සිදුවීම හා අනතුරුවලින් පසුව සිදුවූ මැදිහත්වීම් සහ අඩුපාඩු පිළිබඳව නැවත සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇති හෙයින් එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සභාව තුළදී මෙන්ම පිටතදීද මෙම අනතුරු සහ නෞකා රක්ෂණ සමාගම් අතර සිදුවූ ගණුදෙනු පිළිබදව හෙළිදරව් කළ බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

එමෙන්ම නෞකා අනතුරු සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන මූල්‍ය චෝදනා යටපත් කිරීමේ අරමුණින් විපක්ෂය විවාදයක් ඉල්ලා සිටින බව ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමති  ප්‍රසන්න රණතුංග පවසා ඇත.

විපක්ෂයේ එම උත්සාහය පරාජය කිරීමේ අරමුණින් මෙම විශේෂ තේරීම් කාරක සභාව පත්කරන ලෙස ආණ්ඩුපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

නෞකා අනතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළේ මෙම නෞකා අනතුරු සම්බන්ධයෙන් මූල්‍ය වංචා සිදුව තිබෙන බවය.