ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය පිළිබඳව ඇති නැඹුරුතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා ‘Schoolpreneur 2023’ නමින් පාසල් ව්‍යවසායකත්ව දින වැඩසටහනක්  එළඹෙන නොවැම්බර් 16 වෙනිදා දියත් කිරීමට නියමිතය.

මෙය ලංකා වාණිජ මණ්ඩලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ  ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජාත්‍යන්තර කම්කරු සංවිධාන  කාර්යාලය (ILO) සමඟ එක්ව දියත් කිරීමට සැළසුම් කර ඇත.

මෙය දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර අනුරාධපුරය, බදුල්ල, කොළඹ, ගාල්ල, මහනුවර, පුත්තලම, රත්නපුරය, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කයන්හි දී අදාළ පළාත් උත්සව සංවිධානය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව පුරා විහිදී සිටින පාසල් සිසුන් අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ ඒ පිළිබඳව දැනුවත්භාවය පුළුල් කිරීමේ පරමාර්ථයෙන්  වාර්ෂික පාසල් දින දර්ශනයට පාසල් ව්‍යවසායකත්ව දිනය ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ එකඟතාවය පළ කර ඇත.

මෙම ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ තිරසාර සහ සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා දරුවන් තුළ ව්‍යවසායකත්වය පිළිබඳව කුසලතාවන් වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

මෙම වැඩසටහන පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම පසුගියදා කොළඹ ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්විණි.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්.රණසිංහ , ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ජාත්‍යන්තර කම්කරු සංවිධාන කාර්යාලයේ අධ්‍යක්ෂක සිම්රින් සිං , ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී බුවනෙකබාහු පෙරේරා අදහස් දැක්වීය.