ජාතික දීපවාලි සැමරුම් උත්සවය වවුනියාව කන්දසාමි කෝවිලේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (12) අති උත්කර්ෂවත්ව පැවැත්විණි.

ජාතික දීපවාලි සැමරුම් උත්සවය 2023 වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කෙරුණු අතර නියෝජ්‍ය තැපැල්පති ඩී.ඒ.රාජිත.කේ. රණසිංහ විසින් එහි පළමු මුද්දරය සහ මුල්දින කවරය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත එහිදී පිළිගන්වනු ලැබීය.

ජාතික දීපවාලි සැමරුම් උළෙල සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයට පත් කළ සුබ පැතුම් පණිවුඩය එහිදී අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ අතර, දරුවන්ගේ චමත්කාර නර්තන අංගවලින් උත්සවය වර්ණවත්ව පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, වවුනියාව කන්දසාමි කෝවිල,වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම උලෙළ සංවිධානය කෙරිණි.

මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පුජකවරු, ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන්, උතුර පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාර්ල්ස්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් එස්.එම්.සමන් බන්දුලසේන, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. තිලීපන්, ආගමික කටයුතු අධ්‍යක්ෂවරු,ආරක්ෂක අංශ ප්‍රධානීන්, පාසල් දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.