ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වීමට නියමිතයි.

එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරෙන බවත් කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් ප්‍රවර්ධනය උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව සහ “Industry Green Awards” සම්මාන උළෙල පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මෙරට කර්මාන්ත ක්ෂේත්‍ර 25 ක් නියෝජනය කරමින් ප්‍රදර්ශන කුටි 1300 කට අධික ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශනයට අන්තර්ගතවන අතර, නවෝත්පාදන, නව තාක්ෂණය සමඟින් නව කර්මාන්ත රැසක අංගයන් මෙම ප්‍රදර්ශනයේදී දැක හැකි වන බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙම ප්‍රදර්ශනයට සමගාමීව මෙරට තුළ වාහන එකලස් කිරීමේ ආයතන 25කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් ජාතික රථවාහන පෙරහැරක් (National Vehicle Parade) ජුනි 18 වෙනිදා ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වී BMICH පරිශ්‍රය දක්වා ගමන් කිරීමට ද නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.