මහජන විශ්වාසය තහවුරු වන ලෙසට මෙන් ම රටේ අනාගතය පිළිබඳව සුරක්ෂිත බලාපොරොත්තුවක් තැබිය හැකි ආකාරයට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විධිමත්ව සිදුකරන ලෙසට තෛයිනිකායික මහ නායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති බව වාර්තා වේ.

රාජ්‍ය සම්පත් පෞද්ගලිකරණය කිරීමෙන් මහජන සේවාවන් බිඳ වැටි සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවයි උන්වහන්සේලා පෙන්වා දෙන්නේ.

ආර්ථික මර්මස්ථාන වන රාජ්‍ය බැංකු පද්ධතිය හා ආර්ථික හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිසල් දායකත්වයක් සපයන ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන ව්‍යාපාරික ලාභාපේක්ෂාවෙන් පමණක් කටයුතු කරන විදේශීය ආයතනවලට විකුණා දැමීමෙන් අනාගතයේදී දැවැන්ත සමාජ, ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය වීමට මෙන් ම ජනජීවිතය අඩාල වීමට හේතුවිය හැකි බව ද මහ නාහිමිවරු අවධාරණය කර සිටිති.

ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශ්වයේ මහ නායක වරකාගොඩ ඤාණරතන, අමරපුර මහා සංඝ සභාවේ මහ නායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක මකුලෑවේ ශ්‍රී විමල යන හිමිවරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොමු කර ඇති අතර ඒ අනුව, ජන ජීවිතය අඩාල වන, මහජන සුබසිද්ධිය අවිනිශ්චිතතාවකට ලක් කෙරෙන, ජාතික ආරක්ෂාව පිළිබඳ සැකසංකා නිර්මාණය වන තීරණ ගැනීමෙන් වළකින්නැයි බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලෙස ද මහනායක හිමිවරු ඉල්ලා ඇත.

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සමාජය තුළ දැඩි විවේචනයක් තිබෙන බව පෙන්වා දෙන උන්වහන්සේ, ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ විනිවිදභාවයක් නොමැති වීම, මහජන අදහස් හා යෝජනා පිළිබඳ අවධානය යොමුකර නොමැති වීම, මෙම වැඩපිළිවෙළ තුළ රාජ්‍ය සම්පත් විකුණා දැමීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වීම, එමඟින් මහජන සුබසාධනය, ජාතික සම්පත් හා සමාජ ආරක්ෂාව පිළිබඳ දැඩි අවිනිශ්චිතතාවක් උද්ගතව තිබීම පිළිබඳව මහජන විරෝධය පළවී ඇතැයි ද සඳහන් කරයි.