පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් සිදුකරන ලද විමර්ශනයන් අනුව සැකකරුවන් 747ක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කරනවා.

අද (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සැකකරුවන් සහ සැකකාරියන් 100කට මහාධිකරණයේ නඩු 14ක නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර ඇති බවය.

එමෙන්ම මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

තවද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව තුළින් අනාවරණය වූ කරුණු ද ඊට පරිබාහිරව විමර්ශනවලදී අනාවරණය වූ කරුණු ද පදනම් කරගනිමින් තවදුරටත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනු බවත් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා පැවසුවේ ඒ තුළින් අනාවරණය වූ කරුණු මත ඉදිරි නෛතික කටයුතු සිදු කිරීමට නියමිත බවය.

එමෙන්ම වර්ථමාන රජය බලයට පත්වූ පසුව මෙම විමර්ශන නව අදියරකින් ආරම්භ වී ඇති බවත් ඒ අනුව පසුගිය නොවැම්බර් 11 වැනි දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මේ දක්වා සිදුකරනු ලැබූ විමර්ශන අනුව සිවිල් සාක්ෂිකරුවන් 12 දෙනෙකුද, හමුදා සාමාජිකින් 7 දෙනෙකු, පොලිස් නිලධාරීන් 24ක් සහ බන්ධනාගාරගත නිලධාරීන් 3 දෙනෙකු ඇතුළුව 48 දෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.