හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා, කැබිතිගොල්ලෑව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් 5 දෙනෙක් අද (අප්‍රේල් 1) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී පාසල් ගුරුවරයෙකු හා සංවර්ධන සහයක නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකුට වැඳ ආචාර කර සමාව ගෙන ඇති බව වාර්තා වේ.

හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි ⁣ගුරුවරයෙකු හා සංවර්ධන සහකාර නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු සහරාන් හෂීම් සමග සබඳතා පැවැත්වූ බව පවසමින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කිරීම හා අභූත චෝදනා නගමින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබීම සම්බන්ධයෙන් වරද පිළිගනිමින් ඔවුන් එසේ සමාව ගෙන ඇත.

නිසි සොයා බැලීමකින් තොරව අභූත චෝදනා නගමින් තමන්ව අත්අඩංගුවට ගැනීම මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි අදාළ පාසල් ගුරුවරයා හා සංවර්ධන සහකාර නිලධාරියා ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද නැවත කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ එකඟතාව මත එම සමාව ගැනීම සිදු කෙරිණි.

තමන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව, “සහරාන් හෂීම්ගේ සගයන් පස්දෙනා ළඟ කෝටි සියයකට අධික දේපළ” යන සිරස්තලය යටතේ මෙරට ප්‍රධාන පෙළේ පුවත්පතක් වාර්තා කර තිබූ බව ද එමගින් තමන්ගේ කීර්ති නාමයට දැඩි ලෙස හානි සිදුවී ඇති බව ද එම පුද්ගලයන් පස් දෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.

තමන්ට අදාළ නඩුව වසර තුනකට පමණ කාලයක් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගැනීමෙන් අනතුරුව එම සියලු චෝදනාවලින් තමන් නිදොස් කොට නිදහස් කළ බව ද එම පෙත්සම් මගින් පෙන්වා දී තිබිණි.

එම පෙත්සම්කරුවන් වෙන් වෙන් වශයෙන් පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබූ අතර තමන් අතින් සිදුවූ වරදට සමාව ගැනීමට තමන් සූදානම් බවට එම පොලිස් නිලධාරීන් සිය නීතිඥවරුන් මගින් අධිකරණයට පෙන්වා දීමෙන් අනතුරුව දෙපාර්ශයේ එකඟතාව මත එම සමාව ගැනීම සිදු කෙරිණි.

කෙසේ වෙතත්, එලෙස අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු නඩුව සමථයකට පත්කර ගැනීමට එකඟතාව පළ නොකළ නිසා එම නඩුවේ විවාදය සඳහා ලබන නොවැම්බර් මස 11 දින දක්වා කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම විය.

එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ හා අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණි.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් පෙනී සිටි අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥයා හිහාරා අයෆර් සමග එමීසා මිගර් පෙනී සිටියා ය.