දේශබන්දු තෙන්නකෝන් පුද්ගලයකුට කෲර ලෙස පහරදී ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකළ බවට තීරණය කරමින් දුන් නඩු තීන්දුව සහිත නඩු ගොනුව සුරක්ෂිතව සේප්පුවේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය එහි ලේඛාධිකාර්වරයාට ඊයේ (02) නියම කර ඇත.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරිමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය අභියෝගයට ලක් කරමින් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට පෙත්සම ජූලි 19 වැනිදා කැඳවීමට වැඩිදුරටත් නියම කළේය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ හර්ෂණ නානායක්කාර ඇතුළු පිරිසක් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නම් කර ඇත.

වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කරමින් සිටි දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ දෙදෙනකු විරුද්ධත්ව ප්‍රකාශ කර තිබියදී ඔහුව පොලිස්පති ධුරයට පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නීතියට පටහැනි බව සඳහන් කරන පෙත්සම්කරුවෝ එම තීරණය බලරහින කරන නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටිති.

මේ අතර දේශබන්ධු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධුරයට පත්කිරීමට එරෙහිව පෙත්සම් 07ක් ගොනුකර තිබූ අතර, එම පෙත්සම් පවත්වාගෙන නොයන බව මීට පෙර අවස්ථාවකදී පෙත්සම්කාර පාර්ශ්වයන් කළ දැනුම්දීමක් හේතුවෙන් එම පෙත්සම් විභාගයන් අවසන් කෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස් සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවන්ගෙන්න සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය දේශබන්දු තෙන්නකෝන් පුද්ගලයකුට කෲර ලෙස පහර දී ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කළ බවට තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව සහිත නඩු ගොනුව මෙම නඩුවේ ලේඛනයක් ලෙස නම් කර ඇති හෙයින් එම නඩු ගොනුව සුරක්ෂිතව සේප්පුවේ තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියම කළේය.

පෙත්සම ජූලි 19 වැනිදා කැඳවීමටද වැඩිදුරටත් නියම කර ඇත.