තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති අතර රික්ටර් මාපක 7.4ක් ලෙස එම භූ කම්පනයෙහි අගය සටහන්ව ඇත.

මෙම භූ කම්පනය වසර 25කට පසු තායිවානයේ සිදු වූ ප්‍රබලතම භූමිකම්පාව වන බවයි එරට භූ කම්පන විද්‍යා නිලධාරීන් සඳහන් කර සිටින්නේ.

මෙම තත්වය මත මේ වන විට ජපානයට ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ජපාන කාලගුණ ඒජන්සිය විසින් පුරෝකථනය කර ඇත්තේ මෙම භූමි කම්පාවේ බලපෑම මත ජපානයේ නිරිතදිග වෙරළ තීරයේ විශාල ප්‍රදේශයකට මීටර් 3ක් දක්වා සුනාමි රළ ළඟා වනු ඇති බවයි.

මෙම හේතුව නිසාවෙන් ජපානයේ නිරිත දෙසින් පිහිටි ඔකිනාවා වෙරළබඩ ප්‍රදේශයේ ජනතාව සිය වාසස්ථානවලින් ඉවත් කිරීමට උපදේශන ද මේ වනවිට නිකුත් කර තිබේ.

පිලිපීනයේ භූ කම්පන ඒජන්සිය ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව සඳහන් වන අතර චීන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කළේ චීනයේ ගිනිකොනදිග ෆුජියන් පළාතේ ඇතැම් ප්‍රදේශවලට ද මෙම කම්පන බලපෑම දැනුණු බවයි.