පසුගිය සතියේ එක්සත් ජනපදයේ බැල්ටිමෝර් පාලමේ ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ඇති බව වාර්තා වූ අනතුරුදායක ද්‍රව්‍ය පිළිබඳව ශ්‍රී ලංකාව විමර්ශනය කරන බව පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි බව කියන එම නෞකාවේ භාණ්ඩවල අන්තර්ගතය පිළිබඳව රටේ බලධාරීන් දැනුවත් කර නොමැති බව රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කර ඇති අත​ර ප්‍රධාන වශයෙන් ඉන්දියානු කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවන ලද සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් වන ඩාලි කොළඹ බලා එමින් තිබියදී, මාර්තු 26 වන දින අලුයම බෝල්ටිමෝර් හි පැටප්ස්කෝ ගඟ හරහා ඉදිකර ඇති කිලෝමීටර් 2.6ක් දිග මංතීරු හතරේ ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමේ ගැටී ඇත.

එම කන්ටේනර් නෞකාව කොළඹට අන්තරායකර ද්‍රව්‍ය ටොන් 764ක් රැගෙන යමින් තිබූ බව වාර්තා වන අත​ර මෙම අන්තරායකර භාණ්ඩ ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොමැති බව පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රජය රේගුවට සහ කොළඹ වරායට උපදෙස් දී ඇති බව, ​එම භාණ්ඩ කොළඹ වරායට ගොඩබෑමට අවසර ලබා දුන්නේ දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.