දිවයින පුරා සිඟමන් යදින බාල වයස්කාර වීදි දරුවන්ගේ සංඛ්‍යාව තිස් දහසක් පමණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යාන හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාරිය වසන්ත අතුකෝරාල ප්‍රකාශ කරයි.

මෙරට විවිධ ප්‍රදේශවල සිදු කළ පර්යේෂණ හා අධ්‍යයන කටයුතු මඟින් මෙම සංඛ්‍යාව තහවුරු වූ බව මහාචාර්යවරයා පවසයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළකල මහාචාර්යවරයා කියා සිටියේ,

“මේක ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක්. ඒ වගේම අනාගතයට බලපාන ප්‍රශ්නයක්. මේ දරුවන් පිළිබඳ රජයට නිවැරදි දත්ත පද්ධතියක් නෑ. නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීමේ වගකීම රජයට තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු නොකළහොත් විදි දරුවන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩිවෙලා තවදුරටත් මත්ද්‍රව්‍ය භාවිතය, අලෙවිය, සොරකම්, වංවා, ලිංගික අපචාර වැනි අපරාධ විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන්.

මෙම අධ්‍යයන කටයුතුවලින් හෙළිව ඇත්තේ මවුපියන් හෝ තාවකාලික භාරකරුවන් මෙම කුඩා දරුවන් සිඟමනේ යෙදවීමට මෙන්ම වෙනත් මුදල් ඉපයීමේ කටයුතු සඳහා යෙදවීමටද පියවර ගන්නා බවය. ජනාකීර්ණ නගර, සිද්ධස්ථාන වැනි ස්ථාන කේන්ද්‍රකොට තනිවම හෝ වැඩිහිටියන් සමඟ සිඟමන් යදින වයස අවුරුදු 04 – 15 අතර දරුවන් බහුතරයක් පාසල් නොයන බවත් ඇතැම් මවුපියන් මෙම දරුවන් විවිධ කුලී වැඩ මෙන්ම වීදි වෙළෙඳාම් වැනි කටයුතු සඳහා යොදවන බවත් මෙම බහුතර මවුපියන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බැවින් මෙම ඇතැම් දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයට මෙන්ම වංචා, සොරකම්, ලිංගික අපචාර ආදියටද ඇබ්බැහි වී සිටින බවද එම පර්යේෂණ මඟින් හෙළිව තිබෙනවා.” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සඳහන් කළේ, මෙම තත්ත්වය පිළිබඳව පොලිසිය දැනුවත්ව සිටින බවයි.

එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ,

“මේ ඇතැම් දරුවන් පොලිසිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. නමුත් ප්‍රධාන ගැටලුව වෙන්නේ මේ බාල වයස්කාර දරුවන් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රදවා තැබීම සඳහා නිසියාකාර ආරක්ෂිත ස්ථානයක් නොමැති වීම. යාචකයන් අත්අඩංගුවට ගෙන රඳවා තබන සමාජසේවා දෙපාර්තමේන්තුවට අයත් රිදීගම කදවුර වන විට පිරී ඉතිරී ගොස් තිබෙනවා, මේ තත්ත්වය අනුව වීදි දරුවන් අධිකරණයට දාලා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පලක් වෙන්නේ නෑ. මේ ළමයි දීර්ඝකාලීන පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමුකළ යුතුයි. ඒ සඳහා ඉඩකඩ සහිත සුදුසු ස්ථානයක් නෑ. යනුවෙනි.