ආදරය විවිධ ස්වරූපයෙන් පවතින බව අපි දන්නවා. ඊට තනා නිම කළ නිශ්චිත ආකෘතියක් නැහැ. හරියට ගඟක් වගේ. ගලා යන ගමනෙදිම ගඟක් තමන්ගෙ පාර කපා ගන්නවා වගේ ආදරයත් තමන්ගේම වූ මාවතක ගලා යනවා, තමන්ගේම වූ අසිරියක් විසුරුවමින්.

ආදරයේ එක ස්වරූපයක් සම්මත යැයි සලකන අපි තවත් ස්වරූපයකට අසම්මත යැයි ගරහනවා. චිරාත් කාලයක් තිස්සේ ආදරය හඳුනාගන්න අපට තිබුණෙ හරිම සරල නිර්වචන. සම්මත ආකෘතියෙන් යන්තමින් හරි පිට පැන්නොත් ඒ ආදර කතාව පාපයක් සේ සලකන්නයි මෙච්චර කාලයක් අපි ඇබ්බැහි වෙලා හිටියේ.

කොටින්ම මිනිස් බැඳීම් සුමටව සහ සංකීර්ණව කියවාගන්නා කලා කෘති ඇසුරේ දී පවා අසම්මත ආදර කතා කිසිම ලෙසකින් උත්කර්ෂයට නැංවුණේ නැහැ. ඒ තුළ හැමවිටම ප්‍රසාදයට ලක්වුණේ පරම පිවිතුරු සැළමුතු ප්‍රේමයම පමණයි.

ඒත් දැන් දැන් වෙනස් ප්‍රවණතාවක් ඉස්මතු වෙමින් එනවා. ඒ තමයි මෙච්චර කාලයක් අපි විසින් ගරහන ලද, ඇස් කොණින් බලන ලද ප්‍රේමයේ ඇතැම් ස්වරූප දිහා දයාවෙන් බලන්න පෙළඹීම.

මේ ගීතයේ දී අපට මුණගැහෙන්නෙත් එහෙම ආදර කතාවක්.

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක
එක මොහොතක් මගේ වෙලා උයනක, වෙරළක
එදා වගේ හමුවන්නට සුන්දර සවසක
හීන මවනවද හිර වී හිමි නැති පපුවක

බිඳ වැටුණු ආදර කතාවකින් දිගු කාලයකට පසු ප්‍රේමවන්තයෙකුට මෙහෙම ආසාවක් මතු වෙන්න පුළුවන්. ඒක අසාමාන්‍ය හෝ අස්වාභාවික නැහැ. ආදරයේ කුසුම් පොකුරු කාලයත් එක්ක මිලාන වෙනවා වෙනුවට නැවත නැවතත් තෝරාගන්නෙ විකසිත වීම. නමුත් ගැටලුව වන්නේ ඒ කුසුම් උද්‍යානයේ උයන්පල්ලා දැන් වෙනකෙකු වීම. එසේ වූ පමණින් විකසිත වීම පිණිස කුසුමක් සතු අයිතිය අහෝසි වෙන්නෙ නැහැ.

සම්මත පරම පිවිතුරු ප්‍රේමය වෙනුවට අනියම් ආදර කතාවක් කලාව තුළ ‘ජයග්‍රහණය’ කිරීම මම පළමු වතාවට දැක්කේ ‘කබි අල්විදා නා කෙහෙනා හේ’ කියන අතිශය ජනප්‍රිය හින්දි චිත්‍රපටයෙන්. ආසියාතික සමාජයක් ඇතුළෙ එහෙම චිත්‍රපටයක් ඒ තරම් ප්‍රසාදයට පත් වීමම විශ්මයක්. සැළමුතු ප්‍රේමය වගේම අනිත් ප්‍රේම පුරාවෘත්තත් මිනිස් බැඳීම් ලස්සන කරනවා යැයි යන නිර්භීත අදහස ඒ චිත්‍රපටියෙන් ප්‍රකට වුණා.

දැන් දැන් අපේ ගීත සාහිත්‍යය තුළත් ප්‍රේමයේ මේ රැඩිකල් ආකෘතිය ඉතාම ජනප්‍රිය වෙමින් තිබෙන බව අමරසිරිගේ මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර තුළින් පැහැදිලියි.

පැරණි ආදරවන්තිය හිමි නැති පපුවක හීනයක් මව මවා ඉඳිද්දි ආදරවන්තයාගේ ඉරණමත් එසේමයි. විවාහ ජීවිතයක යම් යම් දුක් තැවුල් තුළින් පීඩිත ඔහුගේ හදවත ගීතයේ මේ කොටසින් අපට පැහැදිලිව කියවා ගන්න පුළුවන්.

මුදු වදන් කටු ඇනී සීරුණු සමනල තටුවල
මුදු බැලුම් රැල් අතුරා නිවාලන්න දුක
සුරගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත
පිනි බිඳක් වෙලා තෙමුණත් ඇති ආදර පවසට

හංගල තියෙන තරමට තමයි සාහිත්‍යය ඉමිහිරි. සුර ගඟක් ගලා ගිහිල්ලත් නොතෙමුණු යටි හිත පිනි බිඳකින් සනසන්න පුළුවන්. අන්න ආදරයේ අපූර්වත්වය. ආදරයේ ප්‍රාතිහාර්යය. වචන නමැති දරුණු විෂ කටු ඇනිලා රිදුණු තුවාල වුණ හිත සුවපත් කිරීමේ දිව්‍යමය ඖෂධ ගුණය අර පිනි බිඳ සතුයි. දැක්කත් ඇති.

එහෙත් ආදරයේ මේ මතභේදාත්මක ඉසව්වේ දී ‘පිනි බිංදුවක්’ වීම පවා යුවතියකට මාරාන්තික ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන්. ඒ නිසාම සිය අතීත ආදරවන්තයා මොන තරම් ඇරයුම් කළත්, ආයාචනා කළත් ඇය තවම ඉන්නෙ සිය සම්මත සීමාවලට අවනත වෙලා. යටත් වෙලා. ඇයට ඔහුගේ දුක අහන්න පුළුවන්. ඒත් හිස අතගාන්න බැහැ. හදවතේ රිදෙන තැනින් හිස තියන්න බැහැ. අතැඟිල්ලකින් පිරිමදින්න බැහැ. මොකද, මිනිස් බැඳීම් අතරට සංස්කෘතිය කියන දේ මැදිහත් වෙන නිසා. කවර යුගයකදී වුණත් කවර රැඩිකල් පෙම්වතියකට වුණත් සදාචාරයේ වැට කඩුලු පනින්න පහසු නැහැ. ඒ නිසා නොවේද ඇගේ සුසුම් දරදඬු. ඒ නිසා නොවේද ඇය මිතුරු ඇස් දෙකකින් කඳුළු සඟවන්නේ?

අකුරුවලට පෙරළෙන්නැති දරදඬු සුසුමට
මිතුරු ඇස්වලින් සඟවන උණුසුම් කඳුළට
ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල

ඔව්. අති සුන්දර මිනිස් බැඳීම් අබියස සදාචාරය පවා නොවැදගත් වන මොහොතක් උදා වෙන්න පුළුවන්. ඒක හරි ද වැරදිද කියල විනිශ්චය කරන්න කලාකරුවා කියන්නෙ දෙවියන් වහන්සේ නෙවෙයි. ඔහුට පුළුවන් එකම දේ ඔහුට පෙනෙන දැනෙන හැඟෙන මේ මිනිස් බැඳීම්වල උභතෝකෝටිකය අප හමුවේ ගෙන හැර පෑම පමණයි.

ඉතින් අපි දන්නෙ නැහැ කොච්චර කාලයක් මේ තරම් දරදඬුව පවතින්න ඇයට පුළුවන් ද කියලා. මේ තරම් හැඟීම්බර විදියට ආයාචනා කරන ප්‍රේමවන්තයෙක් ඉදිරිපිට ඇය දිය වෙන්නට තිබෙන ඉඩ හුඟාක් වැඩියි. එදාට ඒ දිය වීම සම්මත මිනුම් දඬු ඇසුරින් නොකියවා ගන්න පරිස්සම් වෙමු.