මෙවර මහ කන්නයේ දී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික අංශයට බාර දෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසා ඇත.

ගොවීන්ට රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා මූල්‍ය සහනාධාරයක් දෙන බවද ඇමතිවරයා සදහන් කර තිබේ.

ඒ සඳහා සෑම ගොවියකුටම QR ඛේතයක් ලබා දෙන අතර ගොවි ජනතාවට තමන්ට අවශ්‍ය කෘෂි යෙදවුම් එමගින් ලබා ගැනීමට හැකි වේ.

2022/23 යල කන්නයේ දී යුරියා පොහොර හා බන්ඩි ‍ පොහොර බෙදා හැරීම සඳහා රජය විසින් රුපියල් බිලියන 6.5ක් වැය කර තිබේ.

මෙවර යල කන්නයේ දී මඩපොහොර බෙදාහැරීම සඳහා ද රුපියල් බිලියන 02ක් වැය කිරීමට සිදුවූ බව අමාත්‍යාංශය සදහන් කරයි.මෙම මුදල් ගොවි ජනතාවට සහනාධාරයක් වශයෙන් ලබා දීම මගින් ගොවීන්ට අවශ්‍ය දේවල් මිල දී ගැනීමට අවස්ථාව සලසා දීම එම වැඩ පිළිවෙළෙහි අරමුණ වේ.

එමෙන්ම මෙවර යල කන්නයේ දී කුඹුරු වගා කරන සියලු ගොවීන්ට හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 20,000ක මුදලක් හා හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් 40,000ක මුදලක් පොහොර, බිත්තර වී හෝ පැරචුට් ක්‍රමයට වී වගා කිරීම සඳහා අවශ්‍ය පැරචුට් තැටි මිල දී ගැනීම සඳහා ලබා දීමට ද රජය තීරණය කර තිබේ.

මඩ පොහොර නොමිලයේ ම රජය විසින් ලබා දෙන අතර අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා සියලුම ගොවීන්ට කූපන් පත්‍රයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

නිර්මාණි ගුණරත්න