තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සිඩ්නි අධිකරණයට ප්‍රකාශයක් සිදුකරමින් පවසා තිබේ. ඒ අනුව ඔහුට එරෙහි නඩුව දිගටම පවත්වා ගෙන යන ලෙස එම අධිකරණය නියම කර ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ධනිෂ්ක ගුණතිලක වරද පිළිගත්තේ නම් ධනිෂ්කට ඉදිරියේදී දඬුවම් ලබාදීමට නියමිතව තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

2022 වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරග අතරතුර හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ධනිෂ්ක ගුණතිලකට එරෙහිව චෝදනා එල්ල වූ අතර, එහිදි ධනිෂ්කට එරෙහිව චෝදනා 04ක් එල්ලවිණි.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු විමර්ශන අංශය විසින් පසුගිය නඩු වාරයේදී එම චෝදනා 04න් චෝදනා 03ක් ඉවත් කර ගැනිණි. ඒ අනුව අනෙක් පාර්ශ්වයේ අකමැත්තෙන් ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාව තවමත් ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ක්‍රියාත්මක බව වාර්තා වේ.