පසුගිය මාර්තු මාසය වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී තිබෙන බව ශ්‍රී ලංකා මහබැංකුව ප්‍රකාශ කරනවා.

මෙලෙස දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන්ම හේතුවී ඇත්තේ මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශීය විනිමය වෙළෙඳපලෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීමයි

මෙම නිල සංචිත සඳහා චීන මහ බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වන අතර මාර්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,139ක් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 9.8ක ඉහළ යාමක් බව වාර්තා වේ.

කාර්මික භාණ්ඩ අපනයනය ඉහළ යාම අපනයන ආදායම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.

වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ද පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේ දී ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ වසරේ මාර්තු මාසයේ දී සංචාරක ඉපැයුම් ද ඉහළ ගොස් ඇති අතර විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ද මාර්තු මාසයේ දි අමෙරිකානු ඩොලර් මිලියන 572 දක්වා ඉහළ ගොස් තිබේ.