හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහි​ව ගොනුකර තිබූ පැමිණිල්ල අද (29) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය

ඒ අනු​ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ලබන මස 12 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

හිටපු ජනාධිපතිනිය සිය පැමිණිල්ලෙන් කියා සිටින්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට කිසිදු නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවය.

ඒ අනුව සිරිසේන මහතා අදාළ තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.