දශක පහක් පුරාවට ජනප්‍රියත්වය එකසේ තමා වෙත රඳවා ගන්නට සමත් වූ 72 හැවිරිදි කොලිවුඩයේ “Thalaivar”  හෙවත්, සුපිරි නළු රජිනි කාන්ත් රඟන නවතම චිත්‍රපටය වන Jailer  අද සිට (අගෝස්තු 10) ලොව පුරා තිරගත කිරීම ආරම්භ කරනවා. වසර දෙකකට පසු රීදී තිරයට  පැමිණෙන සුපිරි තරුව දැක බලාගන්නට චෙන්නායි සහ බැංගලෝර් නගරවල කාර්යාල සඳහා නිවාඩු ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. දකුණු ඉන්දියාවේ ඇතැම් ආයතන තම සේවකයින් වෙත Jailer නැරඹීම සඳහා නොමිලයේ ටිකට් පත් පවා ලබා දී ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

රජිනි කාන්ත් විසින් “ටයිගර්” නම් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් නිරූපණය කරන Jailer චිත්‍රපටය සඳහා,  මලයාලම් සිනමාවේ දැවැන්තයෙකු ලෙස සැලකෙන මෝහන් ලාල් සහ සුපිරි බොලිවුඩ් නළු ජැකී ශ්රොෆ් ද රංගනයෙන් දායක වනවා. මීට අමතරව ශිවා කුමාර්, සුනිල් වර්මා, රම්‍යා ක්‍රිෂ්ණන්, තමන්නා භාටියා, යෝගි බාබු වැනි දකුණු ඉන්දියානු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් ද මෙම චිත්‍රපටයේ චරිත නිරූපණය කරනවා. ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂක අනිරුද් ගේ සංගීතයෙන් හැඩවන Jailer හි පළමු ගීතය වූ ශිල්පා රාඕ ගායනා කරන “Kaavalaa” ජුලි 06 දින අන්තර්ජාලයට  මුදාහැර තිබූ අතර, එය මේ වන විට Youtube හි පමණක් නැරඹුම්වාර මිලියන 111ක් ඉක්මවා තිබෙනවා. තමන්නා භාටියාගේ නර්තනයෙන් හැඩ වූ එම ගීතයේ අඩංගු “Hook step” නර්තනය ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර අතිශය ජනප්‍රිය වී තිබෙනවා.

 

මෑතදී තිරගත වූ Doctor (2021) හා Beast (2022) යන ජනප්‍රිය දමිළ චිත්‍රපටවල නිර්මාණකරු වූ නෙල්සන් දිල්ප්කුමාර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති Jailer චිත්‍රපටය Sun Pictures වෙනුවෙන් නිෂ්පාදනය කර තිබෙන්නේ කලනිති මාරන් විසින්. Black comedy-Action ශානරයේ චිත්‍රපටයක් වන Jailer, බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බොහොමයක් සිය නම ඉදිරියේ සටහන් කරගනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

උමේෂ් ද සිල්වා