පවුල් සෞඛ්‍ය කාර්යාංශ දත්ත වාර්තා වලට අනුව පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේ දරුවන් අතර මන්දපෝෂණය ඇතුළු පෝෂණ ඌනතාවන්වල වැඩිවීමක් දක්නට ලැබෙන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව පවසනවා.

එම වාර්තාවලට අනුව බර අඩුවීම හෙවත් කෘෂභාවය වැඩිපුර දක්නට ලැබෙන දරුවන් වැඩි පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇතැයි  26 දින  හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා.

හම්බන්තොට ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙවැනි තත්ත්වයක් වාර්තා වූ බවත මීට වසරකට පෙර තමා දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ අවධානය යොමු කළ නමුත්, හිටපු සෞඛ්‍ය ඇමැති ලේකම් සහ අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කරුණු නොවිමසාම තමා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කළ බවයි වෛද්‍ය චමල් සංජීව මෙහිදී පෙන්වා දුන්නේ.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ වාර්තාවලට අනුව 2022 වර්ෂයට සාපේක්‍ෂව 2023 අවසන් වන විට දරුවන්ගේ උස අඩුවීම්, බර අඩුවීම් ඇතුළු පෝෂණ අර්බුද රටපුරා දක්නට ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.