පසුගිය 14 වෙනිදා කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී කළහකාරි ලෙස හැසිරුණු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අද (17) ගුවන්තොටුපළ පොලිසිය වෙත කැඳවා තිබුණා.

ඒ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පෝටර්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහයි.

එහිදී පැයක පමණ කාලයක් පොලීසිය විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පොලීසියෙන් පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් අතින් එදා සිදු වූයේ “සාමාන්‍යයෙන් හොඳ නැති වැඩක්” බවය.

සේවා සපයන පෝටර්වරයෙකුට රුපියල් 1000ක මුදලක් ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළ තුළ පුවරු මගින් සඳහන් කර ඇති පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයා විසින් පෝටර්වරයෙකුට රුපියල් 700ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා පෝටර්වරයාට පහරදෙන ආකාරය ගුවන්තොටුපළ ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණු අතර පහරකෑමට ලක්වූ පෝටර්වරයා මෙතෙක් සේවයට වාර්තාකර නොමැති බවද සඳහන් වෙනවා.