ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර ලබා ගැනීම පහසු කර ගැනීමට රුසියා රජයේ සහයෝගය ලබා දීමට එකඟත්වය පළ කල බව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කර ඇත.

ශ්‍රී ලංකාව හා රුසියාව අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාවය මත හා දෙරට අතර පවතින මිත්‍රත්වය තහවුරු කරන පරිදි මෙම යුරියා හා MOP පොහොර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළ කර තිබේ.

මෙරට රුසියා තානාපති H.E. Levan Dzhagarayan  මහතා හා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවය පළ කර ඇත.


කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය යුරියා හා MOP පොහොර සැපයීමේ වැඩ පිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීම සඳහා  කටයුතු කඩිනමින් ආරම්භ කරන බව ද මෙහිදී රුසියානු තානාපතිවරයා පවසා තිබේ.

මෙම කටයුතු ලබන මහ කන්නය ආරම්භයට පෙර අවසන් කිරීමටත්, ලබන මහ කන්නයේ දී යුරියා හා MOP පොහොර ගොවීන්ට ලබා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීම ඉලක්ක කර ගනිමින් වැඩ කටයුතු ආරම්භ කරන ලෙසත් කෘෂිකර්ම ඇමතිවරයා එහිදි සදහන් කර ඇත.

නිර්මාණි ගුණරත්න