විදේශීය සංචාරක තරුණියකගේ වටිනා භාණ්ඩ හා මුදල් රැගත් ගමන් බෑගයක් ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා පිටකොටුව පෞද්ගලික බස් නැවතුම් පොළෙන් බස් රථයකට නැගුණු අවස්තාවේ සොරාගෙන ඇත.

ඇය පොලිසියට පවසා ඇති පරි​දි සොරාගත් බෑගය තුළ ගුවන්ගමන් බලපත්‍රය, කැමරාව, ලැප්ටොප් පරිගණකය සහ ඩොලර් 2,000ක මුදලක් තිබූ බවයි.

යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන තරුණිය ශ්‍රී ලංකාව ගැන සංචාරක වීඩියෝවක් නිෂ්පාදනය කිරීම සඳහා මෙරටට පැමිණ තිබූ අත​ර රටවල් 37ක පමණ සංචාරය කර ඇති මෙම තරුණිය මෙවර ලංකාවට පැමිණ තිබුණේ දෙවැනි වතාවටයි.

ස්කයි මැගෝවන් නැමැති ඇය ඉකුත් 24වැනිදා මෙරටට පැමිණ තිබුණේ ලංකාවේ වෙසක් සිරිය අලලා වීඩියෝවක් නිර්මාණය කිරීමට බවයි පොලිසිය සදහන් කර ඇත්තේ.

එංගලන්ත ජාතික තරුණියක වුවත් ඇය ඔස්ට්‍රේලියාවේ වාසය කරන්නියක් බව වාර්තා වන අතර ඇය සංචාරක යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අයෙක්.

මෙම තරුණිය දුම්‍ රියෙන් ඇල්ල බලා යාම සඳහා කොටුව දුම්‍ රිය ස්ථානයට පැමිණ තිබෙන අත​ර පැවති අයහපත් කාළගුණය නිසා එදින දුම් රිය අවලංගු කර තිබුණා.

ඒ අනූව බස් රථයට නැගුණු ඇගේ ගමන් බෑගය පුද්ගලයින් දෙදෙනකු විසින් සොරාගෙන ඇ​ති බව බස් රථයේ සී.සී.ටී.වි පරීක්ෂා කිරීමෙන් පසුව තහ්වුරු කරගෙන තිබුණා.

මේ බව දැනගත් වහාම ඇය බස් නැවතුම්පළේ පොලිසියට දැනුම් දී තිබුණු අතර ඉන් අනතුරුව​‍ ඇය කොටුව පොලිස් ස්ථානයට ඒ ගැන පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

“ශ්‍රී ලංකාවේ මිනිස්සු කොච්චර හොඳද කියලා පෙන්වමින් මට උදව් කරන්න. ඒ අය හඳුනා ගන්න පුළුවන් වුණොත් ගොඩක් හොඳ දෙයක්. මේ ගැන තොරතුරක් දෙන ඕනෑම කෙනෙකුට ඩොලර් 5,000ක් ලබාදෙනවා.” යැයි ස්කයි මැගෝවන් නැමැත්තිය පවසා තිබෙනවා.

මේ සිදුවීම සම්බන්ධයෙන් නොකඩවාම විමර්ශනය කරන බවයි කොටුව පොලිසිය පැවසුවේ.